ශ්‍රී පාද රක්ෂිතයේ ඇති තවත් අප්‍රකට පා සටහනක් ගැන පුවතක් පහුගිය දවසක මාධ්‍ය වලින් වාර්තා කළා ඔබට මත ඇති. ශ්‍රී පාද රක්ෂිතය අසලම තියෙන කලු ගල් තලාවක එබී ගිය මිනිස් පා සටහන් දෙකක සලකුණු බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්වුනා. ඒ අතරෙ මේක දැක බලා ගන්න දස දහස් ගණන් පිරිස් ආවා.
බුදුන් වහන්සේගේ සිරිපා සලකුණ වශයෙන් සැලකෙන්නේ එක් පා සටහනක්. ඒ වුනත් මෙහි මිනිස් පා සටහන් දෙකක්ම එක සමීපයේ දක්නට ලැබීම විශේෂත්වයක් වුනා. ඒ වගේම මෙය ප්‍රමාණයෙන් අඩි එකහමාර බැගින් වුවත් සාමාන්‍ය මිනිසෙකුගේ පා සටහනකට සමානයි. මෙය කලු ගලක එරීයාම නිසා මෙය කිසියම් ගුප්ත අද්භූත බවක් ඇතැයි යන්න බොහෝ දෙනාගේ විශ්වාසය වුනා. එත් මේ පා සටහන් ගැන සැඟවුණු ඇත්ත කතාවක් තියෙනවා. අපි ඔබට කියන්න යන්නේ ඒ කතාව.
මේ පා සටහන පිහිටලා තියෙන්නේ මස්කෙළිය – සාමිමලේ ප්‍රධාන මාර්ගයේ ග්ලැනුජි මංසන්දියෙන් හැරී ගාඩ්මෝර් මාර්ගයේ යනවිට හමුවන ගාඩ්මෝර් කඩමණ්ඩියෙන් කිලෝමීටර් 06 ඔබ්බෙහි පිහිටි තේ වතු යායක් මැද්දෙ. ෆෝක්මෝර් වතුයායේ නව ෆෝක්මෝර් කොටසට අයත් මෙය ශ්‍රී පාද රක්ෂිතය මායිමේම පිහිටි ගල්පොත්තක් මත පිහිටල තිනවා. මෙම ගල්පොත්ත බෑවුම් ස්වබාවයකින් යුක්තයි.
මේ අද්භූත පා සටහනේ කථාව පටන්ගන්නේ එහි වතු සේවකයෙකු වන පරමනාදන් හෙවත් කාමරාජ් ජනවාරි 01 වෙනිදා මධ්‍යම රාත්‍රියේ දකින සිහිනයකින්. ඔහු කියන විදිහට එදා මධ්‍යම රාත්‍රියේ දී සුදු තලප්පාවක් බැදගත් සැරයටියක් අතැති තාපසයෙකු වැනි පුද්ගලයෙකු පැමිණ අසවල් ස්ථානයේ ‘රාම දෙවිදුන්ගේ’ පා සටහනක් ඇති බවත් එයට නිසි පුද පූජා වත්පිළිවෙත් පවත්වා ආරක්ෂා කරන ලෙසත් කියල තියෙනවා. ඊට පස්සේ එම තාපසයා සැනෙකින් අතුරුදන් වූ බව පරමනාදන් කියනවා. ඉන්පසු තම සිරුරම දහඩියෙන් තෙත්වී නින්දෙන් පිබිදුණු බවත් ඉන්පසු පසදා පහන්වනතුරුම තමන්ට නින්ද නොගිය බවයි පරමනාදන් කියන්නේ.
පහුවදා අලුයම තමන් එම ප්‍රදේශයේ කෝවිලක පූසාරි කෙනෙකු හමුවී එම පුවත සැලකොට ඔහුද සමගින් එම ස්ථානය පරික්ෂා කිරීමේ දී මෙම පා සටහන් දැකගත හැකි වූ බවත් ඉන් පසු එමගින් ලැබුණු ප්‍රසිද්ධිය මත බොහෝ දෙනෙකු පැමිණ එය රාම දෙවිදුන්ගේ පා සටහනක් වශයෙන් සලකා වැඳුම් පිදුම් කරන්නට පටන් ගත් බවයි පරමනාදන් කියන්නේ.
කොහොම වුනත් මේ පා සටහනේ කිසියම් පුරාවිද්‍යාත්මක අගයක් තියෙනවද කියල බලන්න මධ්‍යම පළාතේ පුරාවිද්‍යා නිලධාරීන් ගිහින් තියෙනවා. ඒ වෙනකොටත් එම සලකුණු සුවඳපැනින් නාවා මල් සුවඳ දුම් ආදිය ඊට පුදා ඇති බව ඔවුන්ට නිරීක්ෂණය වෙලා තියෙනවා. ඒ වුනත් ඒ පිළිබඳව වැඩිදුරටත් පරික්ෂා කිරීමේදී නිලධාරීන්ට වැටහුනේ එය එම ගලෙහි ඇති ස්වභාවික පිහිටීමක් පස්සේ කෘත්‍රිමව පාදයක් විදිහට සකස් කරලා, එහි ඇඟිලි සලකුණු පවා කෘත්‍රිමය නිර්මාණය කොට ඇති බවයි. ඒ වගේම අක්කරයක් විතර වෙන මෙම පර්වතය ‘කුඩු ගල්’ පාෂාණයක් වන අතර නියනකින් හරි උල්කටුවකින් මේ ගලේ යම් යම් වෙනස්කම් කළ හැකි බව අඹගමුව ප්‍රාදේශීය ලේකම් ආර්.පී.ජී. සුමනසේකර මහතා කළ නිරීක්ෂණයකින් තහවුරු වෙලා තියෙනවා.
ඒ අනුව මේ වැඩේ මොකක් හෝ අරමුණක් මුල්කරගෙන පහුගිය කාලයේ කෘත්‍රිමව සකස් කරන ලද පා සලකුණු දෙකක් බව පුරාවිද්‍යා නිලධාරීන්ගේ නිගමනය වෙලා තියෙනවා. දකුණු පා සටහන විදිහට දැක්වෙන පිහිටීමෙහි ඇඟිලි වශයෙන් සැලකිය යුතු කොටස ඉතා පැහැදිළි ලෙස කෘත්‍රිමව නිර්මානය කරලා තියෙන අතරේ වම් පාදය විදිහට සැලකෙන කොටසද පාදයක් බව ඒත්තු යාම සඳහා අවශ්‍ය හැඩතලය කෘත්‍රිමව සකස් කරලා තිබිල තියෙනවා.
මේ සම්බන්ධයෙන් එම පාසලකුණු පිහිටි මෝකා වසමේ ග්‍රාම නිලධාරිනී ආර්.එම්.සිසිකුමාරි මහත්මිය කියන්නේ මේ සියළු මතයන් සම්පිණ්ඩනය කරාට පස්සේ මෙහි කිසිදු පුරාවිද්‍යාත්මක වටිනාකමක් හෝ අද්භූත ස්වභාවයක් නැති බව මනාව තහවුරු වෙනවා කියලයි.
ඒ වගේම බුදුන්ගේ සිරිපා සලකුණට පහලින් ශ්‍රී පාද රක්ෂිතයට යාබදව රාම දෙවිදුන්ගේ ද පා සටහනක් ඇතැයි යන පුවත රට පුරා ප්‍රචාරය වීමත් එක්ක ගාඩ්මෝර් කඩමණ්ඩියේ වෙළඳ ව්‍යාපාර වලට වැඩිපුර වාසි සැලසෙන්නට වුනා. එම කඩමණ්ඩියේ සිට ෆෝක්මෝර් වතුයාය දක්වා වූ කිලෝ මීටර් 06 ක දුර සඳහා ත්‍රිරෝද රථ ගාස්තුව රුපියල් 1,000/- දක්වා වැඩි කරලා තියෙනවා. මල්, සුවඳ දුම් ආදී පූජා භාණ්ඩ සහිත තාවකාලික වෙළඳසැල් කිහිපයක් ද ඒ අවට ඉදිවෙලා තියෙනවා. එත් මේකේ සත්‍යතාව තහවුරුවීමෙන් පස්සේ තාමත් මෙය රාම දෙවිදුන්ගේ පාද සටහනක් සේ සලකා එයට වැඳුම් පිඳුම් කරන අය දකින්න ලැබීම අප රටේ ජනතාවගේ අන්ධ මානසිකත්වය ගැන දෙපාරක් හිතන්න ඕන කාරණයක්.