හෙට දවසේ ශ්‍රී ලාංකික අපි සමරන්නේ 70 වැනි නිදහස් සමරු උළෙල. ඉතින් එහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙන්නේ බ්‍රිතාන්‍ය රජ පවුලේ එඩ්වඩ් කුමාරයා. එඩ්වඩ් කුමාරයා ගැන ලංකාවේ විතරක් නෙවෙයි එංගලන්තයේත් වැඩි දෙනෙක් දන්නෙ නෑ. මොකද එඩ්වඩ් කියන්නේ විලියම්ලා, හැරීලා වගේ ජනතා ආකර්ෂණය දිනාගත්ත චරිතයක් නොවන නිසා. කොහොම වුනත් මේ කියන්න යන්නේ හෙට අපේ නිදහස් උත්සවේ ආරාධිත අමුත්තා විදිහට එන එඩ්වඩ් කුමාරයා ගැන ඔබ නොදන්න කරුණු ටිකක්.
බ්‍රිතාන්‍ය එළිසබෙත් මහ රැජිනට දරුවන් හතරක් ඉන්නවා. චාල්ස් කුමරු, අෑන් කුමරිය හා ඇන්ඩෘෘ කුමාරයා, එඩ්වඩ්. 1964 මාර්තු 10 තමයි එඩ්වඩ් කුමාරයා ඉපදුනේ. ඔහු පවුලේ අනිත් සොයුරන් වගේ ඉගෙනීමට දක්ෂයකු නම් නෙවෙයි. උසස් පෙළ විභාගයෙන් ලබාගත්තේ A එකක් හා B දෙකක් විතරයි. ඊට පස්සේ නවසීලන්තයේ නිවාඩු වසරක් ගත කළ එඩ්වඩ් කුමරු කේම්බ්‍රිජ් සරසවියේ ජේසුස් විද්‍යාලයේ උපාධිය හදාරන්න ඇතුළත් වුණා.
කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයට ඇතුළත් කර ගන්නේ උසස් පෙළ සම්මාන 3ක් ඇති රටේ දීප්තිමත්ම සිසුන් විතරයි. මේ නීතිය කඩා දමමින් A එකක් හා B දෙකක් විතරක් ලබාගත් එඩ්වඩ් කුමරුව, කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයට ඇතුළත් කර ගැනීම නිසා රට පුරා බොහෝ උගත්තු ප්‍රසිද්ධියේම විරෝධය පළ කළා. ඒ වගේම ඔහු කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයට ඇතුළු වුණ දවසේ සරසවියේ වාමාංශික සිසුන් පෝස්ටර් කටවුට් අරගෙන ජේසුස් විදුහල ප්‍රධාන දොරටුව අසල විරෝධතා ව්‍යාපාරයක්ද පැවැත්වුවා.
එංගලන්ත රජ පවුලේ කුමාරවරුන් සියලු දෙනාම යුද, නාවික හෝ ගුවන් හමුදාවට බැඳී තම වෘත්තීය ජීවිතය ඇරැඹීම අතීතයේ සිටම පැවැති සම්ප්‍රදායක්. බ්‍රිතානයේ රජු වශයෙන් දිවුරුම් දීමට සුදුසුකම් ඇති සෑම රජ කුමරකුටම අවශ්‍ය හික්මීම, හැදියාව හා විනය හමුදා සේවය හරහා ලබාදීම තමයි මේ සම්ප්‍රදායේ අරමුණ. අපේ නව රජතුමා හොඳ විනයක් සංවර බවක් ඇති හිටපු හමුදා නිලධාරියෙක් යැයි බ්‍රිතාන්‍ය ජනතාව ආඩම්බර වෙන්නේ එවිට.
එත් සොහොයුරන් දෙන්නා වගේ නාවික හමුදාවේ ඉහළට යන්න එඩ්වට්ට දක්ෂතාවන් තිබ්බේ නෑ. කැඩෙට් භටයකු ලෙස පුහුණුවීම ඔහුට බලවත් අසීරු කරුණක් වුනා. ඒ නිසාම ඔහුව පුහුණුකරුවන්ගේ දෝෂාරෝපණයට නිතර ලක් වුණා. අන්තිමේදී “අනේ මට හමුදාවේ හික්මීමවත් රස්සාවවත් අල්ලන්නේ නැහැ” කියමින් ඔහු ආපසු ගෙදර ආවා. මේක දැනගත්ත පිලිප් කුමාරයා ඔහුට පැය භාගයක් තිස්සේ බැන වැදුන බව ඒ දවස්වල පුවත්පත් පවා වාර්තා කලා. එඩ්වඩ් කුමාරයා හමුදා රැකියාව අත්හැර ගෙදර පැමිණ සිටින බව මුලින්ම ජනතාවට හෙළි කළ බ්‍රිතාන්‍යයේ පුවත්පතක් ඔහුට “රාජකීය බයගුල්ලා” “Royal Chicken” නම පටබැඳලා තිබුනා. (බයගුල්ලාට එංගලන්තයේ උපහාසයට කියන්නේ කුකුළා කියලයි)
එඩ්වඩ් කුමරාගේ කැමැත්ත තිබුණේ නාට්‍ය හදන්න. අනුන්ගේ නාට්‍ය කිහිපයක් නිපදවූ ඔහු 1993 දී තමන්ගේම සමාගමක් පිහිටුවා නාට්‍ය හා චිත්‍රපට කිහිපයක් නිපද වුවත් සාර්ථක වුනේ නෑ.
1993 තිබුන ටෙනිස් ශූරතා තරගාවලියක ප්‍රධාන අමුත්තා වශයෙන් පැමිණි එඩ්වඩ් කුමාරයාට උත්සවයේ ප්‍රකාශිකා වශයෙන් කටයුතු කළ සොෆී රයි ජෝන්ස් නමැති වංශවත් කෙල්ල මුල්වරට හමුවුනා. ඊට පස්සේ අවුරුදු 7ක් පෙම්වතුන් ලෙස කාලය ගත කළ එඩ්වඩ් හා සොෆී 1999 ජුනි 19 දා වින්සර් මාලිගාවේ ශාන්ත ජෝශප් දේව මාලිගාවේදී උත්සවාකාරයෙන් විවාහ දිවියට පත් වුනා. දැන් ඔවුන්ට “ලුවිස් ඇලිස් මේරි” නම් 14 හැවිරිදි දුවක්ද “ජෙම්ස් පිලිප්නියෝ” නම් දහ හැවිරිදි පුතකුද ඉන්නවා.
බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි අටවැන්නා තමයි එඩ්වඩ් කුමරු. පිලිප් කුමාරයාගේ ඇවෑමෙන් පස්සේ එතුමා දැනට පාවිච්චි කරන “එඩින්බරෝ ආදිපාදවරයා” යන නම්බුනාමය ද එඩ්වඩ් කුමරාට ලැබීමට නියමිත වෙලා තියෙනවා.
විලියම් හා හැරී කුමරුන්ට තරම් ජනතා ආකර්ෂණයක් එඩ්වඩ් කුමරුට නැහැ. එත් වයස 96 ක් වන පිලිප් කුමාරයා දැන් විශ්‍රාම ගිහින් තියෙන නිසා ඔහු කළ රාජ්‍ය වැඩකටයුතු බොහොමයක් දැන් කරන්නේ එඩ්වඩ් කුමාරයා. පහුගිය අවුරුද්දේ විතරක් ඔහු සහභාගි වූ රාජ්‍ය උත්සව ගණන 513 ක්. බ්‍රිතාන්‍යයේ පුණ්‍යායතන, සුබසාධක සංවිධාන 79ක අනුශාසක ධුර එඩ්වඩ් කුමාරයා දරනවා.
1990 නවසීලන්තයේ හා 1988 මැලේසියාවේ පැවැති පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ ප්‍රධාන අමුත්තා වුනෙත් එඩ්වඩ් කුමාරයා. 2012 දී කැරිබියන් මුහුදේ ශාන්ත ලුසියා දූපතේ පැවැති නිදහස් උළෙලේ ප්‍රධාන අමුත්තා වූ එඩ්වඩ් කුමාරයා හෙට එළිසබෙත් මහා රැජන නියෝජනය කරමින්, ශ්‍රී ලංකාවේ 70 වැනි නිදහස උළෙල ඔපවත් කරාවි.