News Line| Off Air
Generic placeholder image

Feb
10

“මට හොඳ වෙන්නැති ලෙඩක් තියෙනවා” – දිනක්ශි ප්‍රියසාද් මුල් වරට මාධ්‍යට කියයි.

1629 Views


“මට හොඳ වෙන්නැති ලෙඩක් තියෙනවා” – දිනක්ශි ප්‍රියසාද් මුල් වරට මාධ්‍යට කියයි.

දිනක්ශි ප්‍රියසාද් කියන්නේ නව පරපුරේ ජනප්‍රිය නිළියක්. ඉතින් දිනක්ශිට ආදරය කරන ඇයගේ රසික, රසිකාවියන් වෙනුවෙන් අයගේ අතිශය පෞද්ගලික දේවල් ගොඩාක් සති අන්ත පුවත්පතකට ඇය කියල තිබුනේ මේ විදිහට…

“කාටවත් නොකී රහසක්” කියන්න කියලා කිව්වාම මට එකපාරටම හිතුණේ “අනේ එහෙම රහසක් මට නැහැ නේද?” කියලා. ඒත් අම්මා ළඟට ඇවිත් මගෙන් අහනවා” ගොඩක් දෙනෙක් දන්නේ නැති දෙයක් මගේ ජීවිතේ තියෙනවා නේද” කියලා. ඇත්තනේ… එහෙම දෙයක් මගේ ජීවිතේ තියෙනවා. ඒ කතාව දන්නේ මාව ළඟින්ම ආශ්‍රය කරන අය විතරයි. ඒ වුණත්, ඒ අයටත් වඩා හොඳින් මේ කියන කාරණය ගැන හොඳටම දන්නේ අපේ අම්මයි.

මොකක්ද දන්නවද ඔය කතාව. ඒ තමයි “මට හැම දෙයක්ම අමතක වෙනවා” කියන කාරණය. තවත් විදියකින් කිව්වොත් “මට කිසිම දෙයක් මතක නෑ” කියන එක. ඇත්තට කියනවා නම් මට පුදුමාකාර අමතක වීමේ ලෙඩක් තියෙනවා. හැබැයි මට ටෙලි නාට්‍යවල දෙබස් නම් එක පාරින් මතකේ රැඳෙනවා. සජීවී ගායනකදීවත් සිංදුවක් අමතක වෙන්නේ නැහැ. මගේ මේ අමතක වීම එදිනෙදා කටයුතුවලදී සිදුවන දෙයක්. ඒකත් හරි අසාමාන්‍ය අමතක වීමක්. වටිනා සපත්තු, ආභරණ යන යන තැන්වල දාලා ආපු අවස්ථා එමටයි.

ඒ වගේ දේවල් හින්දා අම්මගෙන් බැනුම් අහපු අවස්ථා ඕනෑ තරම් තියෙනවා. ඒත් මගේ මේ අමතක වීමේ ලෙඩේ නම් හොඳවෙන්නේම නැහැ. අමතක වීම සම්බන්ධව අත්දැකීම් ගොඩක් මට තියෙනවා. මේ සිදුවීම වුණත් මම ඉස්කෝ‍ලේ 8 වසරේ ඉන්න කා‍ලේ. ඒ දවස්වල මම අකමැතිම විෂයයන් දෙක තමයි ඉතිහාසය හා භූගෝලය. මම ඒ විෂයන්වලට අකමැති බව ටීචර්ලත් දන්නවා. පුදුම වැඩේ කියන්නේ මට ඒ ‍පොත් දෙක ගෙනියන්නම අමතක වෙනවා. හැමෝම හිතන්නේ මම ඒ විෂයන් දෙකට අකමැති හින්දා හිතාමතාම ‍පොත් ගෙනෙන්න අමතක කරනවා කියලා. දවසක් මට ඔය හේතුවට තදින්ම අවවාද ලැබුණා. එදා මම ගෙදර ආවේ පහුවදා නම් අනිවාර්යයෙන් ඒ ‍පොත් දෙක ගෙනියනවා කියලා හිතාගෙන. පහුවදා මම ඉස්කෝ‍ලේ ගිහින් ‍පොත් බෑග් එක ඇරලා බැලුවා. පුදුම වැඩක් වෙලා. එදත් මට ඒ ‍පොත් අමතක වෙලා. එදා ටීචර් මාව පන්තියේ හිටවලත් තිබ්බා.

මංගල උත්සවවල දෙවැනි මනාලියන් විදිහට මම ඉඳලා තියෙනවා. සාමාන්‍ය ඇඳුමකින් සැරසිලා ගිහින් එතැනදිනේ අපි දෙවැනි මනාලිය විදියට සැරසෙන්නේ. උත්සවය ඉවරවෙලා ගෙදර ඇවිත් බලද්දී, සෙරෙප්පු, කරාඹු, මාල, වළලු මොනව හරි දෙයක් අමතක වෙලා. මේ විදියේ ගමනක් ගියොත් මොනවාහරි මට අමතක වෙනවාමයි.

ළඟදී දවසක ටෙලි නාට්‍යයක ෂූටිංවලට අපි බණ්ඩාරගම ගියා. එදා උදෙන්ම තිබුණේ කලින් කරපු දර්ශනයක ඉතුරු කොටස රූගත කරන්නයි. කලින් රූගත කළ දර්ශනයේ ඇඳගෙන ගියපු ඇඳුම ගෙනියන්න මට අමතක වෙලා. මම දර්ශන තලයේ ඉද්දී අම්මා ගෙදර ඇවිත් ආපහු ඇඳුම අරගෙන ආවා. ඒත් බලද්දී අම්ම අරගෙන ඇවිත් තියෙන්නේ වෙනත් ඇඳුමක්. අම්මා ආයෙම ඇවිත් ඕන කරන ඇඳුම අරගෙන එනකොට හවස්වෙලා. එදා ඒ දර්ශනය රූගත කරද්දී කළුවර වැටෙන්නත් ළං වෙලා තිබුණා.

අමතක වීම සම්බන්ධයෙන් සිදුවීම් නම් ගොඩයි. ඒ අතරින් ලොකුම සිදුවීම වූ දවස තමයි අම්මගෙන් වැඩිපුරම බැණුම් අහපු දවසත්. මම හිතන්නේ එදා නම් වටා පිටාවේ ගෙවල්වල අයත් මට බණින්න ඇති.

අපේ ගෙදර ලොකු වතුර ටැංකියක් තියෙනවා. ඒකට වතුර පුරවලා තමයි ගෙදර පාවිච්චියට ගන්නේ. එදා මම ටැංකිය පුරවන්න ටැප් එක ඇරියා. අම්මයි මමයි ෂොපිං යන්නයි එදා සූදානම් වෙලා හිටියේ. අපි දෙන්නා ලැහැස්ති වෙලා ඒ ගමන ගියා. අපි ගිහින් ටික වෙලාවකින් අල්ලපු ගෙදර ඇන්ටිගෙන් අම්මට කෝල් එකක් එනවා පළාතම වතුරෙන් පිරිලා කියලා. මට ටැංකිය වහන්න අමතක වුණ බව මතක් වුණේ එතකොටයි. කරාමය තියන්නේ ගේ ඇතුළේ හින්දා අපිම එන්න ඕන ඒක වහන්න. මොනව කරන්නද? යන්න ගිය ගමන නවත්තලා ආයෙම අපි ගෙදර ආවා. ටවුමේ ඉඳන් ගෙදර එනකන් පැය භාගයක් විතර යනවා. ඒ පැය භාගෙම කන්දෙක පිරිලා ඉතිරිලා ගියේ අම්මගේ බැණුම්වලින්. ගෙදර එද්දී වටා පිටාවේ වතුවලටත් වතුර ගලාගෙන ගිහින්. ටැප් එක වහලා ටික වෙලාවක් යද්දී වතුර බැහැලා ගියත් අම්මගෙ බැණුම් නම් කන්දෙක පිරිලා ඉතිරිලා යන්න ගැලුවා.


News Articles
Latest Videos
Most Popular Post