News Line| Off Air
Generic placeholder image

Mar
17

ශ්‍රී ලංකා බංගලාදේශ තරඟයේ අවසන් පන්දුවාරයේ, ඇත්තටම පිටිය මැද සිදුවූ දේ මෙන්න.

1958 Views


ශ්‍රී ලංකා බංගලාදේශ තරඟයේ අවසන් පන්දුවාරයේ, ඇත්තටම පිටිය මැද සිදුවූ දේ මෙන්න.

නිදහස් කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකාව සහ බංගලාදේශය සහභාගී වූ තීරණාත්මක  තරඟය ඊයේ රාත්‍රියේ ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත් වුණා. කරට කර සටනකින් අනතුරුව බංගලාදේශය ජයගත් මේ තරඟය ක්‍රිකට් ඉතිහාස පොතට එක් කළේ කලු පැල්ලමක්.
ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ වීදුරු දොරක් බිදී යාම, බංගලාදේශ ක්‍රීඩකයන් පිටිය මැද නයි නැටීම වගේම අවසන් පන්දුවාරයේ විනිසුරු තීරණ අභියෝගයට ලක් කිරීම සහ එවායේ වාඩුව ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගෙන් ගේම ඉල්ලීම වැනි දෑ ඊයේ තරගයේන් ඉතිහාසයට එක් කළ අදුරු දෑයි. ඒ අනූව මහත්වරුන්ගේ ක්‍රීඩාවේ අනාගතය කෙසේ වේදැයි දැන් කාට කාටත් ප්‍රශ්ණයක් වීම පුදුමයක් නොවෙයි.
මේ කාරණා මෙලෙස සිදුවෙන්නට ක්‍රීඩාංගණයේ ඇත්තටම සිදුවුණේ කුමක්ද? මේ ඒ පිලිබද විග්‍රහයක්.
මීට පෙර බංගලාදේශයේදී ශ්‍රී ලංකා කණ්ඩායම හා තරඟය අතරතුර මුශ්ෆිකර් රහීම් නයෙකු පෙනේ පුප්පන ආකාරයේ අභිනයක් පිටිය මැද දැක්වුවා. කෙසේ වෙතත් පසුගිය බංගලාදේශ සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායම හොදින් ක්‍රීඩා කර බංගලාදේශය පරාජයට පත් කළ තරගයක ධනුශ්ක ගුණතිලක රහීම්ගේ නයා නැටීමට ප්‍රතිචාර දැක්වූවා. ඒ අනූව තමන්ට මව්බිමේදී සිදුවූ අවමානයට එකට එක කරන්න බලාගෙනයි රහීම් මෙවර ලංකාවට එන්නේ. ශ්‍රී ලංකාව සමග පැවති පළමු තරගයේදී බංගලාදේශය වාර්තා සහගත ජයග්‍රහණයක් කරා ගෙනගිය රහීම් පිටිය මැදදී යලිත් වරක් නයා පෙන්නන්නේ ඒ නිසයි.
මේ සිදුවීම් දාමය ඊයේ පැවති තරගයටත් බෝ වීම අරුමයක් නොවෙයි. ඒ අනූව ඊයේ රහීම්ගේ කඩුල්ල දවා ගත් අමිල අපොන්සු නයා නටනවා පෙන්නපු රහීම්ටම නයි නලාව පිඹින අභිනයක් පෙන්නුවා. ඒ සමගම ඊයේ තරඟය නරඹමින් සිටි 20,000 කට අධික ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන්ද නයි පෙන පෙන්නමින්, නලා පිඹිමින් රහීම්ට ප්‍රතිචාර දැක්වූවා. මේ අතර හතරේ සීමාව අසල සිට උඩ පන්දුවක් රැකගත් අකිල ධනංජයද නයි පෙනේ පෙන්වමින් රංගනයක යෙදුණා. ඒ සමගම බංගලාදේශ යොවුන් ක්‍රීඩකයන්ගේ ඉහමොළ රත් වීම ආරම්භ වුණා.
අවසන් පන්දුවාරය තුළ ලකුණු 12ක් අවශ්‍ය වුණු මොහොතේ නායක තිසර පෙරේරාට තිබුණු එකම තුරුම්පුව ඉසුරු උදානයි. ලකුණු 12 ක් අවශ්‍ය මොහොතක දග පන්දුයවන්නෙකු භාවිතා කිරීම නුසුදුසු බවත් ඒ මොහොත වන විට ඉසුරු හොද රිද්මයකින් පන්දු යවමින් සිටි නිසාත් ඔහු ඒ තීරණය ගත්තා.
පළමු පන්දුවම බවුන්සර් පන්දුවක් ලෙස යොමු කරමින් පිතිකරු සම්පූර්ණයෙන්ම පරාජය කළා. ඒ අවස්ථාවේදී පන්දු යැවූ ඉසුරු උදාන රිවීව් එකක් ලබා ගන්නා ලෙස තිසරගෙන් ඉල්ලනවා. ඉසුරුගේ විශ්වාසය වුණේ එම පන්දුව පිතිකරුගේ අත් ආවරණ වල ගෑවුණු බවයි. නමුත් තෙවන විනිසුරු එම ඉල්ලීම ප්‍රතිල්ශේප කරමින් පිතිකරු නොදැවී ගියා ලෙස සලකුනු කරනවා. මේ අතර පිතිකරුගේ හිස අසලින් ගිය පන්දුවක් නිසා එය එම පන්දුවාරයේ පළමු බවුන්සර් පන්දුව ලෙස විනිසුරු නම් කළ යුතු වුවද විනිසුරුවරුන්ගෙන් එලෙස සළකුණු කිරීමක් පෙනුනේ නෑ.
ඒ අවසරයෙන් දෙවන පන්දුවත් කෙටි පන්දුවක් ලෙස ඉසුරු යොමු කරද්දී මෙවරත් අත්දැකීම් අඩු මුස්ටෆිසර් රහමාන් පරාජයට පත් වෙනවා. කෙසේ වෙතත් කඩුලු රකින්නා අතට පන්දුව යන අතරේ අනෙක් අන්තයේ සිටි මහමදුල්ලාට අවස්ථාව දෙන්නට ලකුණක් කරා ඔවුන් පැතිමාරු කරගන්නවා. කෙසේ වෙතත් ඊට කලින් කුසල් ජනිත් ඉසුරු උදානට පන්දුව යොමු කරන අතර පිතිකරු සීමා ඉරට එන්න කලින් ඉසුරු කඩුල්ල බිද හෙලනවා.
බංගලාදේශ පිතිකරු මහමදුල්ලා එම දෙවන බවුන්සර් පන්දුව නිපන්දුවක් ලෙස සිතුවත් විනිසුරුවරුන් එය අනුමත කළේ නෑ. ඒ අනූව මහමදුල්ලා අත් ආවරණ ගලවා විනිසුරුවරුන්ට දොස් කියන්න පටන් ගත්තා. මේ අතර හතරේ සීමාව ආසන්නයට ආ බංගලාදේශ නායකයා පිටිය මැද සිටින බංගලි පිතිකරුවන්ට ක්‍රීඩාපිටියෙන් එළියට එන ලෙස අතින් විධාන දුන්නා. එම අවස්ථාවේදී ඒ ස්ථානයේ පන්දුරකිමින් සිටී ධනංජය ද සිල්වා බංගලාදේශ පිති කරුවන්ට පිටියෙන් ඉවතට නොයා තරගය ඉදිරියට ක්‍රීඩා කරන්න ඉඩ දෙන ලෙස ශකිබ් ඇතුලු බංගලි ක්‍රීඩකයන්ගෙන් ඉල්ලා සිටියේ ක්‍රීඩාවේ මහත්මා ගුණය පෙන්වමින්. ඒ අතර හතරේ සීමාව ආසන්නයට ආ ශකිබ් ප්‍රමුඛ බංගලි ක්‍රීඩකයන් කිහිපදෙනා මේ සිද්ධියට විරෝධය පළ කරා. තත්වය සමනය කිරීමට අතිරේක විනිසුරුද පැමිණ ශකිබ් ඇතුලු ක්‍රීඩකයන් පාලනය කරන්නට උත්සාහ ගන්නා අයුරු දකින්නට ලැබුණා.
 මේ අතර බංගලි පිතිකරුවන්ට වතුර රැගෙන පිටියට ආ අතිරේක ක්‍රීඩකයා නුරුල් හසන් ශ්‍රී ලංකා නායක තිසරට ඇගිල්ලක් දික් කරමින් බැන වදින්න පටන් ගත්තා. අනවශ්‍ය වෙලාවක වතුර රැගෙන ආ මේ අතිරේක ක්‍රීඩකයන්ට පිටියෙන් ඉවත් වන ලෙස විනිසුරුවරුන් අවවාද කරනු දකින්න ලැබුණා. වාද කිරීම නවතා නැවත තරගය ආරම්භ කරමු යැයි ශ්‍රී ලංකා ක්‍රීඩකයන් බංගලි ක්‍රීඩකයන්ට විටින් විට යෝජනා කරත් ඔවුන් දැඩි කෝපයෙන් පිටියේ ඔබමොබ යන අයුරු දකින්න ලැබුණා. ඒ සමග ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් පන්දු රකින ස්ථාන වෙත ගොස් බලා සිටියා.
ඉන් පසුව යලි පන්දුවට පහර දීමට මහමදුල්ලා තීරණය කළා. කෙසේ වෙතත් හතරේ පහරක්, ලකුණු දෙකක් සහ හයේ පහරක් පිළිවෙලින් එල්ල කළ මහමදුල්ලා තරගයේ ජය බංගලාදේශයට හිමිකර දුන්නා. තරගය ජය ගැනීමත් සමග පිටියට කඩා වැදුනු බංගලාදේශ ක්‍රීඩකයන් එකතුවී නයා නැටුම රග දැක්වුවේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට සහ ප්‍රේක්ශකයන්ට පෙනෙන්නයි. මේ අතර ශකිබ් අල් හසන් උඩි කය නිරුවතින් පිටිය මැදට පැමිණි අයුරු දකින්න ලැබුණා. විනිසුරු අවවාද කළ නිසා ඔහු යලි ජර්සිය ඇදගත්තේ පිටිය මැදදීයි.
යොවුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ මේ පරාජය  සමග කණගාටු වුණත් තිසර, තරංග වැනි ජේශ්ටයෝ තම යොවුන් ක්‍රීඩකයන්ව දිරි ගන්වමින් අතට අතදුන්නා. ඒ අතර ජයග්‍රහණය සමරමින් සිටින බංගලියන්ට සුභ පැතා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ක්‍රීඩාගාරය වෙත ඇවිද යනවිට තිසරය ඇගිල්ලක් දික් කළ නුරුල් හසන් බංගලි ක්‍රීඩකයන් අතර සිට යම් කිසි දෙයක් කියන්නේ ශ්‍රී ලංකා ක්‍රීඩක කුසල්ට ඇහෙන්නටයි.
එය ඇසුනු වහාම කුසල් මෙන්ඩිස් එම ක්‍රීඩකයා වෙත යාමට උත්සාහ කරන අතර තමීම් ඉක්බාල් පැමිණ කුසල්ගේ කරට අත දා ගෙන ඔහුව පාලනය කරනවා. ඒ අතර මහමදුල්ලා සහ බංගලි පුහුණුකරු කර්ට්නි වෝශ් එම යොවුන් බංගලි ක්‍රීඩකයාට බනිමින් ඔහුව පාලනය කරන අයුරු දකින්න ලැබුණා.
කෙසේ වෙතත් මහත්වරුන්ගේ ක්‍රීඩාවක මෙවන් හැසීරීම් කිසිදු ලෙසකින් සිදු නොවියයුතු බවයි බොහෝ දෙනෙකුගේ මතය. කෙසේ වෙතත් මේ සිදුවීම් පිළිබද ICC ය පරීක්ෂණයක් අරඹන බවයි මේ වන විට වාර්තා වන්නේ.
සටහන – සජීව ද සිල්වා


News Articles
Latest Videos
Most Popular Post