ශ්‍රී ලංකාවේ දක්ෂයින් සොයා යන සුපිරි පළාත් එක්දින තරඟාවලිය ඊයේ ආරම්භ වුණා. තරඟාවලිය ආරම්භ කරමින් මුලින්ම තරඟ වැදුනේ දඹුල්ල සහ කොළඹ කණ්ඩායම්. වර්ෂාවේ බාධා මැද්දේ පැවැත්වුන තරඟය ඩක්වත් ලුවිස් න්‍යාය අනුව ජය ගන්න කොළඹ කණ්ඩායම සමත් වුණා. ඒ කඩුලු 4 කින්. වර්ෂාව නිසා එක් කණ්ඩායමකට ලැබුණේ පන්දුවාර 40 ක් විතරයි.
මුලින්ම පන්දුවට පහර දුන්න දඹුල්ල කණ්ඩායම පන්දුවාර 40 අවසානයේ ලකුණු 270 ක් ලබා ගත්තා. ඒ සඳහා ඔවුන්ට කඩුලු 6 ක් වැය වුණා. වේගවත් ආරම්භයක් ලබා ගත්ත කුසල් ජනිත් ලකුණු 59 යි. ඔහුගේ ඉනිමට 4 පහර 8 ක් සහ 6 පහර 2 ක් ඇතුලත් වුණා.
අශාන් ප්‍රියන්ජන් ලකුණු 50 යි. සචිත්‍ර සේරසිංහ ලකුණු 40 යි. මිලින්ද සිරිවර්ධන නොදැවී ලකුණු 51 ක් ලබා ගත්තා. පන්දු යැවීමේදී විශ්ව ප්‍රනාන්දු, දිල්රුවන් සහ තිසර කඩුලු 2 බැගින් දවා ගත්තා.
ලකුණු 171 ක ඉලක්කයක් හඹා ගිය කොළඹ කණ්ඩායමේ මුල් කඩුලු 2 ඉක්මනින් බිඳ වැටුණා. නමුත් බිඳ වැටෙමින් තිබ්බ ඉනිමට සාර්ථකව ගොඩ ගන්න තිරිමාන්න සහ ධනංජය ද සිල්වා සමත් වුණා. ධනංජය ලකුණු 41 යි.ප්‍රවේගකාරී ඉනිමක් ක්‍රීඩා කල තිසර පෙරේරා වේගවත් ලකුණු 32 ක් ලබා ගත්තා. ඔහුගේ ඉනිමට 4 පහර 3 ක් සහ 6 පහර 2 ක් ඇතුලත් වුණා.
කොළඹ කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගිය තිරිමාන්න නොදැවී ලකුණු 107 ක් ලබා ගත්තා. සුපිරි පළාත් තරඟාවලියේ පළවෙනි ශතකය ඔහු වාර්තා කරා. පන්දුවාර 39 ක් වෙද්දී නැවතත් වර්ෂාවෙන් බාධා ඇති වුණා. ඒ වෙද්දී කොළඹ කණ්ඩායම ලකුණු 262 ක් ලබා ගෙන හිටියා. ජයග්‍රහණය සඳහා ඔවුන්ට අවශ්‍ය වුණේ පන්දු 6 කදී ලකුණු 9 ක් විතරයි.
අවසානයේ දක්වාත් ලුවිස් න්‍යාය අනුව තරඟයේ ජය පැරදුම තීරණය කරන්න විනිසුරුවන් තීරණය කරා. ළහිරු ගමගේ සහ අසිත ප්‍රනාන්දු කඩුලු 2 බැගින් දවා ගත්තා.
සුපිරි පළාත් එක්දින තරඟාවලියේ දෙවෙනි තරඟය පැවැත් වුනේ ගාල්ල සහ නුවර කණ්ඩායම් අතර. ඒ තරඟයටත් වර්ෂාවෙන් දැඩි බාධා එල්ල වුණා. මුලින්ම පන්දුවට පහර දුන්න ගාල්ල කණ්ඩායමේ මුල් පෙළ සාර්ථක වුණා.
සධීර සමරවික්‍රම ලකුණු 25 යි. බින්දවටෙමින් තිබ්බ ගාලු ඉනිම රොෂේන් සිල්වා සහ ශම්මු අශාන් ගොඩ ගන්න සමත් වුණා. රොෂේන් ලකුණු 55 යි. ශම්මු ලකුණු 72 ක් ලබා ගත්තා. චතුරංග ද සිල්වා වේගවත් ලකුණු 29 ක් ලබා ගත්තා.
ගාලු ඉනිම විනාශ කල ඉසුරු උදාන කඩුලු 5 ක් දවා ගත්තා. කසුන් රාජිත කඩුලු 3 යි. ලහිරු කුමාර කඩුලු 2 ක් ලබා ගත්තා. පන්දුවාර 35 යි පන්දු 4 ක් වෙද්දී ගාලු කණ්ඩායමේ සියලුම දෙනා දැවී ගියා. ඔවුන්ට ලබා ගන්න පුළුවන් වුනේ ලකුණු 250 ක් විතරයි.
නුවර කණ්ඩායමේ නිරෝෂන් දික්වැල්ල සහ මහේල උඩවත්ත පළවෙනි කඩුල්ලට දැවැන්ත සබදතාවක් ගොඩනැගුවා. ඔවුන් දෙන්නා පළවෙනි කඩුල්ලට ලකුණු 137 ක් රස කරා. නිරෝෂන් දික්වැල්ල ලකුණු 75 යි. මහේල උඩවත්ත ලකුණු 116 යි. ඔහුගේ ඉනිම 4 පහර 14 කින් සහ 6 පහර 2 කින් වර්ණවත් වුණා. ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 20 යි.
30 වන පන්දුවාරය වෙද්දී ආයෙත් වාර්ෂාවෙන් බාධා ඇති වුණා. ඒ වෙද්දී නුවර කණ්ඩායම ලකුණු 217 ක් ලබා ගෙන හිටියා. ඔවුන්ගේ කඩුලු 2 ක් විතරයි බිඳ වැටිලා තිබුණා. අවසානයේ ඒ තරඟයත් දක්වාත් ලුවිස් න්‍යායට තීරණය කරන්න සිද්ධ වුණා. දක්වාත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 189 යි නුවර කණ්ඩායමට අවශ්‍ය වුණේ . ඒ අනුව ලකුණු 28 ක ජයක් නුවර කණ්ඩායමට ලැබුණා.