News Line| Off Air
Generic placeholder image

May
12

“ඒ තුනෙන් දෙන්නෙක් ජීවත් වෙනවා. එක්කෙනෙක් ජීවතුන් අතරේ නැහැ. ඒ දෙන්නා කැමතිත් නැහැ මේ ඇත්ත කියන්න. ඒනිසා මේ කතාව කවදාවත් සම්පූර්ණ වෙන්නේ නැහැ.” – ශලනි තාරකා දැන් කියන කතාව මෙන්න

3357 Views


“ඒ තුනෙන් දෙන්නෙක් ජීවත් වෙනවා. එක්කෙනෙක් ජීවතුන් අතරේ නැහැ. ඒ දෙන්නා කැමතිත් නැහැ මේ ඇත්ත කියන්න. ඒනිසා මේ කතාව කවදාවත් සම්පූර්ණ වෙන්නේ නැහැ.” – ශලනි තාරකා දැන් කියන කතාව මෙන්න

ජනප්‍රිය නිළි ශලනි තාරකා ගැන පසුගිය දවස්වල විශාල වශයෙන් අවධානය යොමු වුණා. ඒ ඇය විසින් ලියු ගීතයක් පසුගිය කාලය පුරාවටම අතිශයින් ජනප්‍රිය වුන නිසා. ඒ වගේම දසුන් සම්බන්ධ කරලා හදුන කතා නිසා. ඒ හැමදෙයක් ගැනම ඇය පුවත්පතකට විස්තර කියලා තිබ්බේ මේ විදිහට…

පසුගිය කාලයේ දී ශලනි ටිකක් නිහඬව කාලය ගත කළානේ. ඔය කාලය ඇතුළත නිර්මාණ කිහිපයකටත් ආරාධනා ලැබෙන්නත් ඇති…?
ඔව්… නිර්මාණ කිහිපයකටම ආරාධනානම් ලැබුණා. ඒ අතරින් කිහිපයක්ම මම ප්‍රතික්ෂේප කළා. දීර්ඝ ටෙලිනාට්ය බාරගන්න ටිකක් අකමැතියි. කාලයක් ටිකක් නිහඬව ඉඳලා ලැබුණු අපූරු නිර්මාණය මට කරන්න බාර වුණා.

කොහොමද දිනක්ෂි, අසේකා, කියන යාළුවෝ දෙන්නත් එක්ක ගතකරන ජීවිතේ… ඒ යාළුකම හරි අපූරුයි නේද…?
ඇත්තටම ඔව්… ඒ යාළුකම හරි අපූරුයි… මූනිච්ඡාවට ඉන්න යාළුවෝ නෙමෙයි ඒ දෙන්නා. ජීවිතේ සැපේදීත්, දුකේදීත් හිත ළඟින්ම ඉන්න අපූරු බැඳීමක් තමයි ඒ… දිනක්ෂිව මම අවුරුදු ගාණක් තිස්සේ ඉඳන් දන්නවා. ඒක අපි දෙන්නා ටෙලි නාට්‍ය වල හම්බවෙලා ඇතිවුණු යාළුකමක් නම් නෙමෙයි.ඒ නිසා දිනක්ෂිගෙත් මගෙත් යාළුකම නිර්මාණවලට සීමා වෙන්නේ නැහැ.

කොහොමද අසේකාව මුණගැහෙන්නේ…?
මුලින්ම මට වැඩසටහනක දී තමයි අසේකාව මුණ ගැහෙන්නේ. ඒ මුල් කාලේදීත් අපි තුන්දෙනා එහෙම හම්බවෙලා ලොකු සම්බන්ධයක් තිබුණේ නැහැ. පසු කාලයේ දී අපිට කොහේද, කින්ද, මන්ද කියලා මතකයක් නැතත් අපි තුන්දෙනා ගොඩාක් කිට්ටු වුණා. ඇත්තටම අද වෙද්දී අපේ ඒ යාළුකම හරි අපූරුයි.

ඔය තුන්කට්ටුවට ශනුද්රිවත් එකතුවුණා නේද…?
මෙහෙමනේ… ශනු අපිට වඩා ගොඩාක් පොඩියිනේ… ඉතින්… ශනු ගොඩාක්ම හිතවත් අසේකා එක්ක තමයි. දිනක්ෂි ඉතින් අක්කනේ… හැබැයි ශනු අපිට තාම ගොඩාක් පොඩි ළමයෙක්. ඒ වුණාට ඒ ගෙදර ගියාම ශනුත් අපිත් එක්කම තමයි. අපි කට්ටියම එකතු වෙන්නේ දිනක්ෂිලාගේ ගෙදර. අසේකාටයි, මටයි, දෙන්නටම වැඩක් නැත්නම් දිනක්ෂි ගෙදර ඉන්නවානම් අපි එහේ යනවා. ඉතින් වැඩියෙන්ම ඉන්නේ දිනක්ෂිගේ කාමරේ. ශනුයි, ශේෂාද්රියි දෙන්නත් ඒකට එනවා. ඉතින් ඊට පස්සේ අපි ෆිල්ම් බලනවා. දිනක්ෂිටයි, ශනුටයි හරි රසට උයන්න පුළුවන්. ඉතින් අපේ වැඩේම එයාලා හදන කෑම රස කර කර කන එක තමයි. සමහරදාට දන්නෙම නැතිව නින්දත් යනවා. නිවාඩු තිබුණම අපි එහේ මෙහේ යනවා එනවා.

ශලනිට හරි ලස්සනට ගීත රචනා කරන්නත් පුළුවන්. ඔයාගේ දෙවැනි ගීතය මේ වෙනකොට නිර්මාණය කරලා ඉවරයි…?
මගේ පළමු ගීතයට හිතුවටත් වඩා හොඳ ප්‍රතිචාර ලැබුණා. “යළි හමුවෙමු” කියලා තමයි එය හැඳින්වූයේ. ඒ ගීතය චැනල්වල ගී එකතුවල සති ගණන් අංක එකට තේරිලා තිබුණා. ප්‍රේක්ෂකයන්ගෙන් තාමත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. නිරෝෂා අක්කා ඒක හරි අපූරුවට ගායනා කළා. ඇත්තටම මගේ පළමු නිර්මාණයෙන් මම ඒ තරම් ප්‍රතිචාර නම් බලාපොරොත්තු වුණේ නැහැ. ඒ තරමටම ඒක මට හීනයක් වුණා. ඉතින් දැන් දෙවැනි ගීතයත් කරලා අවසාන වුණා. “මා ඔබ හමුවන දිනේ” කියලා තමයි ඒක ලිව්වේ. පසන් ලියනගේ තමයි ඒ ගීතය සංගීතවත් කළේ. ඒකත් අපි ඉතාම ඉක්මනින් මගේ ආදරණීය රසික රසිකාවන්ට අහන්න දෙනවා. පසන්ගේ මියුසික්වලට මම හරි කැමතියි. ඉතින් පසන් සින්දුවක් කරමු කියලා කිව්වා. ඊට පස්සේ තමයි සින්දුව ලිව්වේ. මුල්ම ගීතය විරහව කැටිවුණු ගීතයක්. ඉතින් මේක ආදරය ගැන කියන සුන්දර ගීතයක්. බලමු… මම මේ ගීතයත් හිට් වෙන්න ඕනෙම කියලා හිතල කරපු දෙයක් නෙමේ. ඒත්… මිනිස්සු ඒ ගීතයත් ආදරයෙන් වැළඳගනීවි කියලා විශ්වාසයක් තියෙනවා.

රංගනය, නර්තනය, නිවේදනය, පද රචනය, මේ හැමදෙයක්ම කරන ශලනි ගායිකාවක් වෙන්න බලාපොරොත්තුවක් නැද්ද…?
අම්මෝ නැහැ… මට ගායනය පිළිබඳ හැකියාවක් නැහැ කියලා මම දන්නවා. සින්දු කියන්න පුළුවන් අය ඕනෑ තරම් ලංකාවේ ඉන්නවා. ඒ නිසා මම මට පුළුවන් දේවල් ටික කරගෙන ඉන්නවා. සින්දු කියන්නනම් යන්නේ නැහැ.

ඇත්ත කියන්න… වැඩිපුර කැමති නිවේදනයටද… රංගනයටද…?
මෙහෙමයි… ඔය හැමදේම සමබරව කරගෙන යන්න මම කැමතියි. රඟපාන්න ගොඩාක්ම ආසයි කියලත් මට හිතෙන්නේ නැහැ. අනෙක මම මොකක් හරි දෙයක් ලියන්නෙත් මට හිතිච්චි වෙලාවට විතරයි. මට දෙයක් හිතුනොත් යමක් හිතට දැනුණොත් මම ලියනවා. ඉස්සර ඉඳන්ම හිතට දැනෙන දුක සතුට හැමදේම මම ලිව්වා. පසුගිය කාලේ මම රඟපෑවේ නැත්තේ මට රඟපාන්න ඕනේ නැහැ කියලා හිතුණා. මට ටිකක් හැමදේකින්ම ඈත්වෙලා ඉන්න ඕන වුණා. ඒ නිසා මම වැඩ බාරගත්තේ නැහැ.

ඔය නිර්මාණවලින් ඈත් වුණු, නිහඬවෙලා හිටපු කාලේ මොනවද කළේ…?
හොඳට නිදා ගත්තා… ඒ වගේම මගේ යාළුවන් එක්ක මගේ ගෙදර අය එක්ක කාලය ගත කරන්න ඉඩ ලැබුණා. විශේෂයෙන් ඒ කාලේ මම වැඩිපුරම හිටියේ දිනක්ෂිලා ගෙදර. ඉතින්… ඒ කාලේ ඒ විදිහට ගෙවුණා.

පසුගිය කාලේදී ශලනිට ගෑනු ළමයෙක්ට දරාගන්න බැරි සිදුවීම්, හිත් රිදීම් වගේම ඇතැමුන්ගේ චෝදනාවලටත් මූණදෙන්න සිද්ධ වුණා…?
මෙහෙමයි… මිනිස්සු දෙයක් දිහා බලන්නේ එක රාමුවකින්. ඒ රාමුවෙන් එළියට ගිහින් මිනිස්සු ඇත්ත දකින්න කැමති නැහැ. මේ දෙයින් ඇත්ත දන්න කොටසකුත් ඉන්නවා. ඇත්ත දන්නෙ නැති කොටසකුත් ඉන්නවා. ඇත්ත නොදැන මිනිස්සු චෝදනා කරන එක හරි වැරදියි. ඒ දේවල් ආයේ ආයේ අවුස්සන්න… ඒ දේවල් ගැන කතා කරන්න මම කැමති නැහැ. හැබැයි ඇත්ත ඔය කතාවෙන මිනිස්සු දන්න දේ නෙමෙයි. මිනිස්සු ඔය දන්නේ හතරෙන් එකයි. හතරෙන් තුනක් මිනිස්සු දන්නේ නැහැ. ඒ තුනෙන් දෙන්නෙක් ජීවත් වෙනවා. එක්කෙනෙක් ජීවතුන් අතරේ නැහැ. ඒ දෙන්නා කැමතිත් නැහැ මේ ඇත්ත කියන්න. ඒනිසා මේ කතාව කවදාවත් සම්පූර්ණ වෙන්නේ නැහැ. මේක අසම්පූර්ණ කතාවක්. හැබැයි මිනිස්සු දකින දේ ඇත්ත නෙමෙයි. ඇත්ත දන්නේ නැති මිනිස්සු මේක ලොකුවට ප්රශ්නයක් කරගත්තා.

මිනිස්සු මෙහෙම චෝදනා කරද්දී ඔය හිත හදාගත්තේ කොහොමද…?
මම ඔය සිද්ධිය වෙන්න කලින් මගේ හිත හදාගෙන ඔය ප්රශ්නෙන් අයින් වුණු කෙනෙක්. ඒක දන්නේ බොහෝම ටික දෙනයි. ඒක හොඳටම දන්න කෙනා අද ජීවතුන් අතරේ නැහැ. කොහොමෙන් කොහොම හරි මට මේ සම්බන්ධව බොහෝ දෙනා විවිධ චෝදනා කළා. බොහෝ මඩ ගැහුවා. සමහරු මම නිහඬව ඉන්න එකෙන්ම මාව වැරදිකාරිය කළා. ඕනෑම කෙනෙක්ගේ ජීවිතේ ළංවුණු සමීපතම කෙනෙක් අයින් වුණාම අපිට ඒ වේදනාව දැනෙනවා. ඒක නැහැයි කියන්න බැහැ. පිටින් ඉන්න කෙනෙක්ට ඒක දැනෙද්දී ළඟින්ම හිටපු කෙනෙක්ට ඒක කොච්චර දැනෙනවාද කියලා හිතන්න පුළුවන්නේ. හැබැයි එහෙම හිතන්නේවත් නැතිව මිනිස්සු ඇඟිල්ල දික් කළා. මම අද කාටවත් වැරදි කියන්නේ නැහැ. හැබැයි ඒ අය ඒ දේවල් දවසක ගෙනියාවි.

ඔය ප්‍රශ්නයට බොහෝ දෙනා මට විවිධ චෝදනා කරද්දී මාව නොමරා මරද්දී මගේ ක්ෂේත්‍රයේ මාව දන්න බොහෝ දෙනා මාව ආරක්ෂා කළා. මට හයියක් වුණා. මිනිස්සු මාව නොමරා වළලද්දී, මට චෝදනා කරද්දී ඒ හැමෝම මට හයියට හිටියා. ඒ වෙලාවේ මම මොනවා කිව්වත් ඒ දේවල් පිළි නොගත්තා. මටම ඇඟිල්ල දික් කරන්න බලාගෙන හිටපු පිරිසක් හිටියා. ඒ වෙනුවෙන් මම දන්න මගේ ක්ෂේත්‍රයේ අය මාව පරිස්සම් කළා. ඒ කාලේ මම වැඩිපුරම හිටියේ දිනක්ෂිලාගේ ගෙදර. දමිතා අක්කා, අසේකා, චන්න අයියා, හේමාල්, සාරංග අයියා, කවීෂා වගේ බොහෝ දෙනෙක් ඒ කාලය පුරාවට මට හයියක් වුණා. හැමවෙලේම මාව ඇවිත් බලලා ගියා. කාලෙත් එක්ක මගේ හිත හදාගන්න බොහෝ දෙනා මට උදව් කළා. මිනිස්සුන්ගේ කතන්දර, මිනිස්සු ගහපු මඩ මාව ශක්තිමත් කළා. ඒ මඩ ගොඩෙන්ම මම නැගිට්ටා. ඒ හැමවෙලේම හිතපු දෙයක් තමයි “මම වැරැද්දක් නොකර ඇයි මම වැටෙන්නේ” කියලා. මගේ හෘද සාක්ෂියට අනුව මම වැරැද්දක් නොකළා කියලා මම දන්නවා. කාට බොරු කලත් හෘද සාක්ෂියට බොරු කරන්න බැහැ.


News Articles
Latest Videos
Most Popular Post