News Line| Off Air
Generic placeholder image

May
27

“නොගැළපීම් නිසා අපි නැවතත් ලංකාවට ඇවිත් වෙන්වුණා. මාව පෙම්වතිය කරේ නැහැ කියලා කවදාවත් ලෙස්ටර් එක්ක අමනාපයක් නෑ” හෙළ සිනමාවේ රෝස කුසුම ලෙස්ටර් ගැන කියන කතාව.

1901 Views


“නොගැළපීම් නිසා අපි නැවතත් ලංකාවට ඇවිත් වෙන්වුණා. මාව පෙම්වතිය කරේ නැහැ කියලා කවදාවත් ලෙස්ටර් එක්ක අමනාපයක් නෑ” හෙළ සිනමාවේ රෝස කුසුම ලෙස්ටර් ගැන කියන කතාව.

සිංහල සිනමාවේ රෝස කුසුම අයිරාංගනී සේරසිංහ. රේඛාවෙන් සිනමා ගමන ආරම්භ කරපු ඇය 60. 70 දශකයේ සිනමාවට නැතුවම බැරි චරිතයක්. මේ වෙද්දී සරල ජීවිතයක් ගත කරන ඇය ලෙස්ටර් ජේමිස් පීරිස් මහතා ගැන පුවත්පතකට කියලා තිබ්බා. මේ තියෙන්නේ ඒ සංවාදය.

ඉතින් කොහොමද ? ඔබතුමිය සුවෙන් නේද?
අසනීපයක් නම් නැහැ. ඉක්මනින් මරණය එනතුරු බලාගෙන ඉන්නවා.

ඇයි එහෙම හිතන්නේ, ඔබ අපේ කලාවට වටිනා සම්පතක්.
ලබන මාසෙට මට අවුරුදු 91ක්.කලාවට සම්බන්ධවෙලා අවුරුදු හැත්තෑවකට වැඩියි. දැන් ටිකක් මතක ශක්තියත් අඩුයි. වැඩක් පලක් කරගන්න බැරිව ඉන්නවට වඩා මැරෙන එක හොඳයි. ඒකයි නිතරම මරණය ළඟාවෙන්න කියා ඉල්ලන්නෙ.

ඔබතුමියව දැන් කලාවේ දකින්න ලැබෙන්නේ නෑ. රංගනයෙන් ඈත් වෙලාද?
දැන් ඉතින් කලා කටයුතුවලට සම්බන්ධ වෙන්නෙ නැහැ. ආරාධනා ලැබෙන්නෙත් නෑ. මඟුල් ගෙවල් මරණ ගෙවල් වලට විතරයි යන්නේ. මා රඟපෑ චිත්‍රපට හතරක් විතර එන්න තියෙනවා. ඒ අතර ටෙලි නාට්‍ය කිහිපයකුත් තිබෙනවා.

ඔබතුමිය පසුගියදා අපේ සිනමාවේ මහා සිනමාකරු ආචාර්ය ලෙස්ටර් ජේමිස් පීරිස් මහතාගේ අවමගුල් උත්සවයේදි බොහොම කනගාටුවෙන් පසුවනු දුටුවා. එතුමා හා ඔබ අතර මිතුදම දශක ගණනාවක් ඈතට දිවයනවා.මතකයිද ඒ අතීතය.
එතුමා තමයි මාව සිංහල සිනමාවට ගෙනාවේ. එතුමා නැත්නම් මම සිනමාවේ නෑ. මට මතකයි මම කොළඹ විශ්වවිද්‍යාලයට ගියේ අම්මාගේ හිතවතකුගේ නි‍වෙසක සිටයි. මා සමගම විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබුවා සුමිත්‍රා පීරිස්ගේ මල්ලී. ඔහුත් මා මෙන්ම කලා උපාධිය හැදෑරුවා. මම පාසල් කාලයේ සිටම ඉංග්‍රීසි වේදිකා නාට්‍ය රඟපෑ නිසා විශ්ව විද්‍යාලයේදීත් වේදිකා නාට්‍යවල රඟපෑවා. ඒ නාට්‍ය බලන්න එනවා ලෙස්ටර් ජේමිස් පීරිස් මහත්තයා. එතුමා ඒ දවස්වලම තමයි එංගලන්තයේ සිට මෙරටට පැමිණ තියෙන්නේ. ඉතින් මගේ රඟපෑම් දුටු ලෙස්ටර් මහත්තයා ඔහු කළ පළමු වාර්තාගත චිත්‍රපටයට මට ආරාධනා කළා. එතැනින් තමයි මම ලෙස්ටර් ජේමිස් පීරිස් කියන ප්‍රතිභා පූර්ණ සිනමාකරුවා සමග සම්බන්ධ වන්නේ.

ඉන්පසුව ඔබ විදෙස් ගත වුණා.
ඔව්. මගේ පළමු විවාහයෙන් පසුව අප එංගලන්තයට ගියා. එහිදී තියටර් ස්කූල් හිදී රංගනය හැදෑරුවා. අපි දෙදෙනාගේ නොගැළපීම් නිසා අපි නැවතත් ලංකාවට ඇවිත් වෙන්වුණා. ඉන්පසුව ටයිම්ස් සඟරාවේ කාන්තා පිටුවේ කර්තෘවරිය ලෙස කටයුතුකළා.

ඔබ වළව්වකින් පැවත එන කුළ කතක් ලෙස රංගනයට සම්බන්ධ වෙනවාට දෙමවුපියන්ගෙන් බලපෑමක් එල්ලවුණේ නැද්ද?
මගේ ගම රුවන්වැල්ලෙන් කෑගල්ල ප්‍රදේශයට හැතැක්මක් විතර යද්දී හමුවන මදුගමුව නැමැති ප්‍රදේශය. මදුගමුවේ මීදෙණිය වළව්වේ මී දෙණිය රටේ මහත්තයාගේ මද්දුම දියණිය මම. මගේ මුල් නම අයිරාංගනී රොක්සානා මීදෙණිය. විවාහයෙන් පසුව තමයි අයිරාංගනී සේරසිංහ වුණේ. අම්මයි, තාත්තයි , මමයි, අක්කයි, මල්ලියි, නංගියි අපේ පවුලේ සාමාජිකයන්. මගේ නැන්දා ඇඩ්ලින් මොලමුරේ. එහේ ඉඳගෙන ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයට පාසල් ගියා. ඒ පාසලේ අවුරුද්දක් විතර ඉගෙනගෙන බිෂෝප් විද්‍යාලයට ඇතුළත්වුණා. පසුව නුවර හයිස්කූල් එකට ගියා. විශ්වවිද්‍යාලයට යන්න අවස්ථාව ලැබුණත් තාත්තා කැමැතිවුණේ නෑ ගෑනු ළමයි විශ්ව විද්‍යාලයට යවන්න. මට යන්න ඕනම කියල ගෙදර පෙරළි කළා. ඩී.එස්. සේනානායක අගමැතිතුමා අපේ ළඟම හිතවතෙක්. ඔහු තමයි තාත්තට කීවේ මාව විශ්විද්‍යාලයට යවන්න . දැන් ගෑනු ළමයිත් හොඳට ඉගෙන ගන්න ඕන කියල.

විශ්වවිද්‍යාලයේදී ද ඔබ ප්‍රසිද්ධ වේදිකාවට සම්බන්ධ වන්නේ කොහොමද?
පාසල් කාලයේදීත් ඉංග්‍රීසි වේදිකා නාට්‍යවල රඟපෑවා සේම විශ්ව විද්‍යාලයේදිත් ඉංග්‍රීසි වේදිකා නාට්‍යවල රඟපෑවා. සිංහල වේදිකා නාට්‍යවල රඟපෑවේ අඩුවෙන්. එහිදී මගේ රඟපෑම් දැකපු ලෙස්ටර් ඔහුගේ පළමුවැනි වාර්තා චිත්‍රපටයේ රඟපාන්න අඬගැහුවා. ඔහු අපේ පවුලේ හිතවතෙක් නිසා අම්මයි, තාත්තයි මුකුත් කීවේ නෑ. එම චිත්‍රපටයෙන් පසුව තමයි ලෙස්ටර්ගේ පළමු සිනමාපටය වන රේඛාවට ආරාධනා කළේ.

අයිරාංගනී සේරසිංහ නැමැති සිනමාවේ රෝස කුසුම රේඛාවෙන් විකසිත වීමත්,ලෙස්ටර් ජේමිස් පීරිස් නැමැති අග්‍රගන්‍ය මහා සිනමාකරු සිනමාවට අවතීර්ණවීමත් සිදු වුයේ එකම සිනමාපටයකින්.එමඅතීතය සිහිපත් කරමුද?
ලෙස්ටර් කියන්නේ අපේ රටේ සිනමාවට පහළ වු තෑග්ගක්. ඔහු නැත්නම් අයිරාංගනී කියන රංගන ශිල්පිනිය නැහැ. ඔහු අපේ රටට ලොකු තෑග්ගක් දුන්නා. කැමරාව ස්ටූඩියෝවෙන් ප්‍රථම වතාවට එළියට ගෙනිච්චේ ඔහු. ඔහු තමයි කීවේ මෙච්චර ලස්සන රටක් තියාගෙන අපි ස්ටූඩියෝ එකක හිරවෙලා චිත්‍රපට කරන්නේ ඇයි කියල. ඒකට ඒ කාලයේ සිටි අනෙක් සිනමාකරුවන් සිනාවුණා. අසාර්ථක වැඩක් කරන්න යනවා කියල.

ඒත් එතුමා උත්සාහය අතහැරියේ නෑ. රේඛාව චිත්‍රපටය බිහිවන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසයි. රංගන ශිල්පීන්ට සහ ශිල්පිනියන්ට පළමු වරට ස්වභාවිකව රඟපෑමට අවස්ථාව ලැබුණේ එම චිත්‍රපටයෙන්. එයට පෙර සෑම චිත්‍රපටයක්ම එක්තරා ශෛලියකට කොටුවී තමයි රඟපෑවේ. එතකොට මගේ වයස අවුරුදු විසි දෙකක් විතර ඇති. එහි මා රඟපෑවේ අම්ම කෙනකුගේ චරිතයක්. එදා ඉඳන් මේ වනතුරු හැමදාමත් විවාහක කාන්තාවකගේ චරිතය විතරයි මට ලැබුණේ. ලෙස්ටර් මැරෙනතුරුම මාව හමුවන සෑම අවස්ථාවකදීම කියනව අනේ අයිරාංගනී මම ඔයා‍ව කලාවට හඳුන්වල දු‍න්නේ අම්ම කෙනෙක් විදිහටනේ. ඒකෙන් ඔයාට කවදාවත් පෙම්වතියගේ චරිතයක් ලැබුණේ නෑ. අපරාදෙ මම කළේ ඔයාට අසාධාරණයක් කියල. ඒත් එහෙමයි කියල මම කවදාවත් ලෙස්ටර් එක්ක අමනාපයක් නෑ. ඔහු තමයි මාව සිනමාවට ගෙනාවේ. රේඛාවේ මගේ චරිතය හොඳින් කළ නිසයි හැමදාමත් මට විවාහක කතකගේ චරිත ලැබුණේ. රේඛාව චිත්‍රපටය ගැන කතාකරද්දි එහි රඟපෑ පොඩි ගැහැනු ළමයා චිත්‍රපටයේ රඟ පා ටික දවසක් යද්දී පිළිකා රෝගය වැළදී මියගියා. අනෙක් දරුවාත් අඩු වයසෙන්ම මිය ගියා. එම සිදුවීම ඒ කාලයේ අපි හැමෝටම දුකක් වුණා.

ඔබ රංගනයට වගේම පරිසරයටත් බෙහෙවින් ආදරය කරන රංගන ශිල්පිනියක්. ඒ නිසාම කිහිප අවස්ථාවකදීම පරිසරවේදිනී සම්මානයෙන් පවා පිදුම් ලැබූවා නේද?
දැනට අවුරුදු හැටකට වඩා ඉස්සර මම එංගලන්තයේ සිටියදී වැස්සට තෙමි තෙමී යන කුඩා දැරියකට කුඩේ ඇල්ලුවා. ඇය එයට ස්තූතිකිරීමක් ලෙස මට දුන්නේ එම ස්ථානයට ගහකින් වැටී තිබුණු ලස්සන කොළ තුනක්. ඒක මගේ ළඟ අදටත් සුරැකිව තියෙනවා. ඒ වගේ ගහට කොළට මම බෙහෙවින් ආදරෙයි. මේ ගේ වුණත් මිලට ගත්තෙ ගේ ඇතුළේ ගස් වැල් සිටුවන්න පුළුවන් නිසා. මේ රටේ ජනතාවට කියන්න තියෙන්නෙ පරිසරය විනාශ කරන්න එපා. සතුන් මරන්න එපා කියල. දැන් අපේ රටේ ගස්කොළං කපන විදිහට ඉස්සරහට අපට රටක් තියෙයිද කියල හිතෙනව. ස්වභාව ධර්මය විනාශ කළොත් අපි ඉවරවෙනවා. බුදු හාමුදුරුවො දේශනා කළානේ ස්වභාව ධර්මය සමග සෙල්ලම් කරන්න එපා කියල. උන්වහන්සේ දේශනා කළා ස්වභාව ධර්මයා විනාශ කළොත් දවසක අපි රත්වෙලා රත්වෙලා සේරම විනාශයට පත්වනව කියල. ඒ නිසා සියලු දෙනාම ගහට කොළට සතා සිවුපාවුන්ට ආදරය කළ යුතුයි.

ඒ නිසාද ඔබ නිර්මාංශික
මම මස් මාළු කෑමෙන් වැලකී දැන් අවුරුදු පනහක් විතර වෙනවා. දැන්නම් ටික ටික බණ භාවනා කරනවා. මගේ ලොකු පුතා අනතුරකින් මිය ගියා. ඔහු සතුන්ට පුදුම ආදරෙයි. මට මතකයි ඔහු හරක්ව හම ගහනවට හරිම විරුද්ධයි. මම කාලයක් පරිසරය සුරැකීමේ සංවිධාන සමග එක්වී විවිධ වැඩසටහන් පවා ක්‍රියාත්මක කළා. දැන්නම් ඉතින් ඒව කරන්න අමාරුයි.

ජීවිතයේ සැඳෑ වයසේ පසුවන ඔබ අද ගෙවන්නේ බොහොම නිස්කලංක දිවියක්. බොහෝ සැප සම්පත් මැදින් ගෙවුණු දිවියක් ගත කර අද ගෙවන සරළ දිවිය ගැන තෘප්තිමත්ද?
මම කුඩා කාලයේදී බොහොම සැප සම්පත් බුක්ති වින්දා. පසුව වින්ස්ටන් සේරසිංහ සමග විවාහ වූ පසුවත් පුතුන් දෙදෙනකුගේ මවක ලෙස සතුටෙන් ජීවිතය ගත කළා. ලොකු පුතාගේ හදිසි වියෝව අදටත් මට ගෙන එන්නේ වේදනාවක්. දැන්නම් මට ඕනෙ ඉක්මනට මැරෙන්න. මම හැමදාම ප්‍රාර්ථනා කරන්නෙ ඉක්මන් මරණයක් අත්වෙන්න කියායි. ලබන මාසෙට මට වයස අනූ එකක්.

(නයනා වෑත්තෑව)


News Articles
Latest Videos
Most Popular Post