News Line| Off Air
Generic placeholder image

Jun
3

දකුණේ ඉන්ෆ්ලුවෙන්සා නසන්න දකුණේ තරුණයෙක්ගෙන්ම සොයා ගැනීමක්.

1991 Views


දකුණේ ඉන්ෆ්ලුවෙන්සා නසන්න දකුණේ තරුණයෙක්ගෙන්ම සොයා ගැනීමක්.

දකුණු පළාතේ පැතිර යන ඉන්ෆ්ලුවෙන්සා මාරාන්තික රෝගය තාමත් මට්ටු කරන්න බැරි වෙලා තියෙනවා. මේ වෙද්දී මේ රෝගයෙන් අහිංසක ජිවිත 13 ක් පමණ බිලිගෙන තියෙනවා. තාමත් දකුණේ රෝහල්වල සිය ගණනක් රෝගීන් මේ වෛරසයෙන් පීඩා විඳිනවා.

මේ අතරේ දකුණේ තරුණයෙක්ම ඉන්ෆ්ලුවෙන්සා වෛරසය නසන්න නව නිරමාණයක් හොයාගෙන තියෙනවා. මාතර උපත ලැබූ මංජු ගුණවර්ධන තමයි මේ හොයා ගැනීම කරලා තියෙන්නේ. ඔහු ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනයේ නැනෝ තාක්ෂණය පිළිබඳ උපදේශකයකු වශයෙන් කටයුතු කරනවා. ඒ වගේම ලංකාවේ වැඩිම සම්මානලාභී පර්යේෂණ විද්‍යාඥයා සහ නව නිපැයුම්කරුවා ලෙසින් වැජබෙන්නේද මංජු ගුණවර්ධන.

නැනෝ තාක්ෂණය හරහා විෂබීජ විනාශ කිරීමේ ඔහුගේ මෙම නව නිර්මාණයට පේටන්ට් බලපත්‍රය පවා හිමි කර ගෙන තියෙනවා. ඉන්දියාව ඇතුලු වෙනත් රටවල රෝහල් වල මේ තාක්ෂණය භාවිතා කරනවා. හැබැයි ලංකාවේ සෞඛ්‍ය බලධාරීන් නම් මේ ගැන තුට්ටුවකට මායිම් කරලා නෑ.

මංජුගේ නව නිර්මාණය ගැන ඔහු මාධ්‍යට අදහස් දැක්වුවේ මේ විදියට.

“මේ තාක්ෂණය ටිකක් සංකීර්ණ වුණත් සරලව මෙහෙම විස්තර කරන්න පුළුවන්. නැනෝ තාක්ෂණය යොදාගෙන තැනූ අමුද්‍රව්‍යයක් තමයි මේ නිෂ්පාදනයේ පදනම වෙන්නේ. සාමාන්‍ය ආලෝකයේ තිබෙන ශක්තිය යොදාගනිමින් අවට වායුගෝලයේ තිබෙන ඇසට නොපෙනෙන ජල අණු බිඳහෙළන්නට මේ සුවිශේෂ නැනෝ තාක්ෂණික අමුද්‍රව්‍යයට පුළුවන්කම තියෙනවා. ඒ මඟින් බිහි වන අංශුවලට වයිරස, බැක්ටීරියා ඇතුළු රෝගකාරක ක්ෂුද්‍රජීවීන් සම්පූර්ණයෙන්ම පාහේ ඉතා වේගයෙන් විනාශ කිරීමේ හැකියාව තියෙනවා. බෙහෙත් ඖෂධවලින් විෂබීජ විනාශ කරන ක්‍රමවේදයට වඩා මේ තාක්ෂණය මුළුමනින්ම වෙනස්. කාලයක් භාවිතා කරන කොට ඖෂධවලට ඔරොත්තු දීමේ හැකියාවක් හදාගන්න විෂබීජවලට පුළුවන් වුණත් මේ ක්‍රමයෙදි එහෙම වෙන්නෙ නැහැ.”

“මගේ මේ තාක්ෂණය මූලිකවම වෙළෙඳපොළට නිකුත් වන්නේ විදුලි බුබුළක් විදියට. විෂබීජ පවතින ඕනෑම තැනක මේ විදුලි බුබුළ දල්වා තැබීමෙන් විෂබීජ රහිත අවකාශයක් ඉතා ඉක්මනින් නිර්මාණය කෙරෙනවා. රෝහල් ඇතුළේ මිය-යන වැඩි ප්‍රතිශතයක් මිය-යන්නේ රෝහල තුළම ඉන්න රෝගීන්ගේ විෂබීජ ශරීරගත වීමෙනුයි. මගේ මේ බල්බය මගින් රෝහලක හෝ ඕනෑම තැනක ඇති විෂ පරිසරය සම්පූර්ණයෙන්ම නැති කරන්න හැකියාව තියෙනවා.”

“සාමාන්‍ය සීඑෆ්එල් විදුලි බුබුළකම අපි කලින් කී නැනෝ තාක්ෂණික ද්‍රව්‍ය අඩංගු ආලේපනයක් පිටතින් ගල්වලා තියෙනවා. ඒක මුළුමනින්ම විනිවිද පෙනෙනසුලුයි. ඒ වගේම වියදම ඉතා අවමයි.”

“මේක දැනට ඉන්දියාවේ අනුමත වෛද්‍ය උපකරණයක් හැටියට පාවිච්චි වෙනවා. සිය දහස් ගණනක් පර්යේෂණ කරලා ඔවුන් තහවුරු කරගෙන තිබෙනවා මේ නිෂ්පාදනය නිසා මිනිස් සිරුරට කිසිම ආකාරයක අහිතකර බලපෑමක් නෑ කියලා. ඒ වගේම මෙහි විෂබීජ නසන හැකියාව 99%ටත් වැඩිබව ලොව පුරා පර්යේෂකයන් තහවුරු කළා.

මේ නිසාම මගේ මේ බල්බයට 2012 වර්ෂයේදී ජිනීවාහි ලෝක නව නිර්මාණ කොංග්‍රසයේ රන් පදක්කමක් පවා ලැබුණා. ඒ සම්මානය ලැබුණු මොහොතේ අපේ රටේ අය මේ ගැන කතා කළා මිසක් එතැනින් එහාට මේකේ මහා සෞඛ්‍යමය වාසිය අපේ රටේ මිනිස්සුන්ට ලබාදෙන ප්‍රායෝගික වැඩක් ගැන කවුරුත් කතා කළේ නෑ.”

“ඉන්දියාව සහ එංගලන්තයේ බොහෝ විද්‍යාඥයන් මම හදපු මෙම බල්බය දැල්වීමෙන් ඉන්ෆ්ලූවෙන්සා වෛරසය මුළුමනින්ම විනාශ කරන්න පුළුවන් බව තහවුරු කරගෙන තියෙනවා. ඉන්දියාවේ ඇමසන් වැනි ආයතන පවා ඉදිරියේදී මෙම බල්බය බෙදාහැරීමට නියමිතයි. ඒ රටේ මේ බල්බ් නිපදවන කර්මාන්තශාලාවක් පවා බිහි වුණා. ඒ විතරක් නෙවෙයි; ඉන්දියාවේ බොහෝ වෛද්‍යවරු දීර්ඝකාලයක් රෝහල්වල ප්‍රතිකාර ගෙන සුව වුණු රෝගීන්ට නිවෙසේ මේ බල්බය දැල්වීමට නියම කරනවා. හිටපු ජනාධිපති අබ්දුල් කලාම්ගේ පෞද්ගලික වෛද්‍යවරයා පවා මෙම බල්බය අනුමත කළා.”

“ඕනෙම නිවෙසක වැසිකිලිය, නානකාමරය වැනි ස්ථානවල විෂබීජ සියයට සියයක්ම වගේ විනාශ කිරීමේ හැකියාව මේ බල්බයට තිබෙනවා. කුස්සිය වගේ විෂබීජ අවම විය යුතු තැන්වල මෙය දැල්වීම බොහෝ ප්‍රයෝජනවත්. ඉන්දියාවේ නම් බොහෝ සැත්කම්වලට ලක් වුණු අය රෝග කාරකවලට නිරාවරණය වේවි කියන සැකය දුරු කරගන්න පවා මේ බල්බය භාවිතා කරනවා.

“මම ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යංශයේ මේ සම්බන්ධව වගකිව යුතු ඉහළම නිලධාරියාට පවා මේ නිෂ්පාදනය ගැන මම පෞද්ගලිකවම කතා කළා. ඒත් තවම ඔවුන්ට කිසිම වුවමනාවක් නෑ.”

ලංකාවේම තරුණයෙක් හොයා ගත්ත මේ නිර්මාණය මුළු ලෝකයම අහිංසක ජිවිත ආරක්ෂා කරන්න යොදා ගන්නවා. හැබැයි ලංකාවේ බලධාරීන් තවත් ජිවිත අහිමි වෙනකන් බලාගෙන ඉන්න එක නම් කණගාටුවට කරුණක්.


News Articles
Latest Videos
Most Popular Post