News Line| Off Air
Generic placeholder image

Sep
22

රටේ නායකයා වුනොත් කරන දේ ගැන විශ්ව කොඩිකාර පළවෙනි වරට හෙළිකරයි.

960 Views


රටේ නායකයා වුනොත් කරන දේ ගැන විශ්ව කොඩිකාර පළවෙනි වරට හෙළිකරයි.

පුංචි තිරයෙන් රසික හදවත් දිනා ගත්ත නළුවෙක් තමයි විශ්ව කොඩිකාර. ඉදිරියේදී රීදී තිරයෙනුත් විශ්ව දැක බලා ගන්න පුළුවන්. විශ්වගේ ජීවිතයේ රසබර තොරතුරු කිහිපයක් මේ.

විශ්ව පුංචි කාලයේ කවුරු වෙන්නද හීන මැව්වෙ?
පොඩිම කාලෙ ලොකු වුණහම කවුරු වෙනවද කියා හීනයක් තිබුණේ නැහැ. නමුත් පාසලේ සාමාන්‍ය පෙළ කරන අවදිය වනවිට හමුදාවට බැඳෙනවා කියන සිතුවිල්ල තිබුණා. ඒ කාලයේ පාසල් ශිෂ්‍යභට කණ්ඩායමට බැඳී සිටි නිසා ඒ සිතුවිල්ල ඇති වෙන්න ඇති. නමුත් පාසල් අධ්‍යාපනය අවසන් වෙලා දැනුම් තේරුම් ඇතිවෙන විට පියාගේ අඩිපාරේ යමින් කලාවට සම්බන්ධ වෙනවා කියල තීරණයකට එළැඹුණා.

රංගන ශිල්පියෙකු වීම ගැන තෘප්තිමත්ද?
රංගන ශිල්පියෙක් වීම ගැන ගොඩක් සතුටුයි. මම හිතනවා වෙනත් වෘත්තියක් තෝරා නොගෙන කලාව තෝරා ගැනීම හොඳයි කියා.

සිත් ගත් සිනමාපටය, රංගන ශිල්පියා සහ ශිල්පිනිය.?
විජය කුමාරතුංගයන් රඟ පෑ ‘නොම්බර දාහත’, සූරයන් අතර වීරයා, ‘මමයි රජා ‘චිත්‍රපටවලට කැමැතියි. ඒ වගේම කැමැතිම රංගන ශිල්පියාත් විජය කුමාරතුංග. මම අසා ඇති පරිදි එතුමා හොඳ ගතිගුණ තිබෙන පුද්ගලයෙක්. ඒ වගේම අපේ සිනමාවේ අනෙක් රංගන ශිල්පීන්ගෙන් නොදකින හොඳ කඩවසම් පෙනුමක් තිබුණා. පුංචි කාලයේ සිටම ඔහුගේ රංගනයට සහ පෙනුමට ආසා කළා. ඒ වගේම මාලනී ෆොන්සේකා අපේ ප්‍රවීණ රංගන ශිල්පිනියට කැමැතියි. ඇයගේ රංගනය වගේම රූපයත්, නිහතමානී ගතිගුණත් මගේ සිත් ගත්තා.

කැමැතිම ගායකයා සහ ගායිකාව.?
එච්. ආර්. ජෝතිපාල සහ ලතා වල්පොලගේ හඬට කැමැතියි. මම හිතන්නේ ඔවුන් දෙපළගේ හඬ අපේ සිනමාව ඔසවා තැබීමට බෙහෙවින් බලපෑවා.

ජීවිතයේ අමතක නොවන සිදුවීම සහ දවස.?
ජීවිතයේ අමතක නොවන සිදුවීම් සහ දවස් දෙකක් තිබෙනවා. ඒ තමයි කවින්දා ගංගාදරී දියණිය ඉපදුණු දවසත් ඔනෙත් දනාල් කොඩිකාර පුතා ඉපදුණු දිනය. ඒ දවස් දෙකම මගේ ජීවිතයේ අමතක නොවන සිදුවීම් දෙකක්.

තවත් කෙනෙක් කරනවාට අකැමැතිම දෙය.?
තව මනුස්සයකුගේ කාලය නිකරුෙණ් නාස්ති කිරීම සහ වෙලාවට වැඩ නොකිරීම මම අකැමැති ගුණාංග. ‍ඇතැම් අවස්ථාවල කෙනෙකු උදෑසන අවදි වී හිතේ සතුටෙන් දවසේ වැඩ ආරම්භ කරද්දී තව කෙනෙක් ඇවිත් නිකරුණේ කතා කරමින් ඔහුගේ කාලය නාස්ති කරමින් සිටියහොත් එය අනෙක් පුද්ගලයාට කරන අපරාධයක්. ඒ වගේම තමයි වේලාවට වැඩ නොකිරීමෙන් තවත් කෙනකුගේ කාලය සහ මුදල් අපතේ යා හැකියි. ඒ දෙකම කරන පුද්ගලයන්ට මම කැමැති නැහැ.

ඔබ රටේ නායකයා වුණොත් පළමුව කරන්නේ.?
ජාති, බේද, උස්, පහත් කියන මිනිසුන් බෙදා වෙන්කරන ප්‍රතිපත්ති නැති කරනවා. එවැනි බෙදීම් නිසා තමයි අපේ රටේ සංවර්ධනය ඇන හිට තියෙන්නේ. මේ දේවල් සමාජයෙන් තුරන් කළහොත් මම හිතනවා රට සංවර්ධනය කිරීම පහසුවෙයි කියා. ඒ වගේම වැඩක් කරගන්න ඇතැම් ආයතනවලට ගිය විට දවස් දෙක තුන රස්තියාදු කරනවා. එවැනි සිදුවීම්වලට මුහුණ දෙන මිනිසුන්ගේ කාලය, මුදල් අපතේ යනවා.

රංගන ශිල්පියකු ලෙස සමාජයට දෙන ආදර්ශය කුමක්ද?
මම වෙලාවට වැඩ කරන රංගන ශිල්පියෙක්. රූගත කිරීමකට වුවත් අනිවාර්යයෙන් වෙලාවට යනවා. එමගින් බලාපොරොත්තු වන්නේ නිෂ්පාදකවරයා රැකීමත්, මා නිසා තවත් කෙනකුට බාධාවක් නොවීමත්. මම හැම වෙලේම හිතනවා අපි හැරුණත් මිනිසුන්ට ආදර්ශවත් විදිහට වෙන්න ඕන කියන එක. අපි ලෝකෙට පේන්න මොන දේ කළත් දවසක අපිට මහ පොළොවට වැළලිලා යන දවසක් එනවා. එදාට අපි කිසි දෙයක් ගෙන යන්නෙ නෑ. ඒ නිසා ජීවත් වන කාලය තුළ පිරිසුදුවට ලස්සනට ජීවත් විය යුතුයි.

අසරණ වූ විට කවුද ළඟින්ම සිටින්නේ?
විවාහයට පෙර මගේ දුකේදිත් සැපේදිත් මා ළඟින්ම සිටියෙ අම්මා, තාත්තා සහ අක්කා. දැන් ඒ තුන්දෙනාට අමතරව මගේ බිරියත් මා ශක්තිමත් කරමින් මගේ ළඟින්ම ඉන්නවා.

සංචාරය කරන්න කැමැතිම ස්ථානය.?
මගේ ගම මහනුවර. මම කැම­ැතිම නුවර ඉන්න. ඊට අමතරව නුවරඑළියෙ සංචාරය කරන්න කැමැතියි සීත දේශගුණය නිසා. ඒ වගේම පොලොන්නරුව, කතරගම ආදි ගම්බද ප්‍රදේශවල ඇවිදින්න කැමැතියි. විශේෂයෙන් කුඹුරුවල ඇවිදින්න තමයි වැඩියෙන්ම කැමැති.


News Articles
Latest Videos
Most Popular Post