නිහතමානී කලාකාරිනියක් , නිවේදිකාවක් වගේම රංගන ශිල්පිනියක් , ලේඛිකාවක් වුණ ආදරණීය චරිතයක් තමයි තිලකා රණසිංහ කියලා කියන්නෙ. ඒ වගේම ජනප්‍රිය නළුවෙක් වන සාරංග දිසාසේකරගෙ අම්මා. තිලකා රණසිංහ තමන්ගෙ පුතා ගැන කතා බහකට එකතු වුණේ මේ විදිහටයි.
කොහොමද ඉතිං ජීවිතේ?
ජීවිතේ හොඳින් ගත කරනවා.
මේ දවස් වල මොකද වෙන්නෙ?
මමයි පුතයි මේ දවස් වල අලුත් ව්‍යාපාරයක් පටන් අරගෙන තියෙන්නෙ. ඒක එක්ක තමයි මේ දවස් වල කාලය ගත වෙන්නෙ. වේවේකය අඩුයි ඒ නිසා. රූපවාහිනී , ගුවන්විදුලි වැඩසහන් නම් මේ දවස් වල කෙරෙන්නෙ නෑ.
ඇයි අම්මයි පුතයි බිස්නස් වලට අත ගැහුවෙ?
ඒක හරි අහම්බෙන් වුණේ. අපිට ලොකු දැනුමක් මේ ගැන තිබ්බෙ නැහැ. ඒත් කරගෙන යනකොට ඒක ලේසියි කියලා හිතුනා. මුලදි කට්ටියක් එකතු වුණා අපේ වැඩ වලට. දැන් පුතයි මමයි විතරයි කරගෙන යන්නෙ.
ගුවන්විදුලිය තුළ ඔබගෙ කාර්යභාර්ය මොන වගේද?
ගුවන්විදුලියෙ වගේම රූපවාහිනියෙ මම දිගටම වැඩසටහන් කරා. සතිපතා වැඩසටහන් ඉදිරිපත් කිරීම් මම කරනවා.
සාරංග දිසාසේකර කියන නළුවා ඔබේ පුතා වීම ගැන මොකද හිතන්නෙ?
මට ඒ ගැන තියෙන්නෙ නිහතමානී ආඩම්බරයක්. එයා ගැන අහනකොට එයාගෙ දක්ෂතා බලනකොට මට ඒ ගැන ඇතිවෙන්නෙ ලොකු සතුටක්.
ඔහු රංගනයෙන් සාර්ථක වුණත් පුද්ගලික ජීවිතයෙ පසුබහිනවා ?
ඔය වගේ ප්‍රශ්න හැමෝගෙම ජීවිත වල තියෙනවා. මගේ පුතාටත් වුණේ ඒ වගේ දෙයක්. ඒ හැමදෙයක්ම උපේක්ෂාවෙන් දරාගන්න එකයි වැදගත් වෙන්නෙ.
මේ හැමදේකම අවසාන තීරකයා අම්මා විදිහට ඔබද?
එයාගෙ හැමදේකදිම එයා එක්ක මම කතා කරනවා. ඒක පෞද්ගලික ජීවිතේට වගේම වෘත්තීය ජීවිතේටත් අදාලයි. පවුලේ අනිත් අය එක්කත් ඇතැම් තීරණ අපි කතා කරනවා.
සාරංග රටේ ජනප්‍රිය නිළියක් එක්ක සම්බන්ධයක් තියෙනවා කියන කතාව ඇත්තද?
ඔය වගේ කතා හැදෙන එක සාමාන්‍ය දෙයක්. මම හිතන්නෙ ඔවුන්ගෙ රඟපෑම තුළ තියෙන තාත්වික බව ඒකට හේතුවක් වෙන්න ඇති. කොහොමත් අපි අනිත් කලා පවුල් එක්ක හරි කිට්ටුයි. අපි ඔය වගේ දේවල් ගැන විශේෂයෙන් හිතන්න යන්නෙ නෑ.
පුතාගෙ ජීවිතේට දැන්වත් ගැළපෙන සහකාරියක් තෝරල දෙන්න අම්මා ලෑස්තිද?
මම කවදාවත් පුතාට බලපෑම් කරලා නෑ. ඉස්සරහටත් ඒක එහෙම්මමයි. එයාගෙ ජීවිතේ ගැන තීරණ ගන්න අවස්ථාව තියෙන්නෙ එයාට. එයාට ඒ දේවල් වලට මම උපදෙස් දෙනවා මිසක් ඒ දේවල් වලට බලපෑම් කරන්න යන්නෙ නෑ.
ජීවිතේ මඟහැරුණු අය ආයෙත් මුණගැහෙනකොට මොකද හිතෙන්නෙ?
අපේ ජීවිතවල හැම මොහොතකම මඟහැරණ අය ඉන්නවා. මම ඔවුන් දිහා තරහින්වත් වෛරයෙන්වත් බලන් නෑ.
ආපස්ස හැරිලා බැලුවොත් මේ ආපු ගමන ගැන මොකද හිතෙන්නෙ?
දුක සතුට කලවම් වෙච්ච දෙයක්නෙ ජීවිතේ කියන්නෙ. එක විදිහටම නැතුව ටිකක් වෙනස් වීම් වෙද්දි තමා ජීවිතේ ලස්සන.
අම්මයි පුතයි එකම තිරයක අපිට දැකගන්න් අවස්ථාවක් ලැබෙයිද?
තාම නම් එහෙම අවස්ථාවක් ලැබුණෙ නෑ. නමුත් මම පුතාගෙ වයසෙ දරුවො එක්ක රඟපාලා තියෙනවා. එයාලා මගේම දරුවො වගේ.
දෙන්නගෙම නිර්මාණාත්මක හැකියාවන් එකතු කරලා අධ්‍යක්ෂණයට එකතු වෙන්න කැමති නැද්ද?
ඒ අදහස මුල් කාලෙදි තිබුණා. තාම තියෙනවා. මම ”පාට පාට බෝල” කියලා 1998 කෙටි කතාවක් පළ කළා. ඒක මුල් කරගෙන නාට්‍යක් කරන්න අදහසක් තිබුණා. ඒත් ඒක මඟහැරිලා ගියාගතවම නිර්මාණයක් කරන්න අදහසක් අපි ලඟ තියෙනවා. බලමු ඉතිං ඉස්සරහට.
ඔබ කොච්චර ශක්තිමත් ගැහැනියක්ද?
මම ශක්තිමත් කියලා මම හිතනවා. ඕනම තැනක තීරණ ගන්න අපිට කොන්ද පන තියෙන ඕන. ඒ වගේම ශක්තිමත් වෙන්න ඕන.
ඔබේ ජීවිතේ හැමදේම පුතා. ඔහු එක්ක දකින්න ඉන්න අනාගත බලාපොරොත්තු එහෙම මොනවද?
මේ මගේ කාලෙ නෙවෙයි,මේ පුතාගෙ කාලෙ මම හිතන්නෙ එහෙම. මගෙන් උරුම වුණ නිවේදනය , තාත්තගෙන් උරුම වුණ ගායනය ,මාමාගෙන් උරුම වුණ රංගනය එක්ක පුතා අද ගොසක් ඉස්සරහින් ඉන්නවා. ඔහුගේ සාර්ථකත්වය තමයි මගේ සතුට.