එක කුසේ උපන් සහෝදර සහෝදරියොත් විවිධ දේවල් නිසා රණ්ඩු සරුවල් වෙන කාලයක් තමයි මේක. ඒත් එකම ශරීරයක් තියෙන සහෝදරියන් දෙන්නෙක් හරිම සතුටින් ජීවත් වෙන හැටි ගැන ඔයාට හිතාගන්නවත් පුළුවන්ද?
1990 මාර්තු මස 7 වැනි දින ඇමෙරිකාවේ මිනසෝටා ප්‍රාන්තයේ දී උපත ලද ඇබී හා බ්‍රිටනි හෙන්සෙල් තනි ශරීරයක්, අත් දෙකක්, හා පා දෙකක් සහිත ව බිහි වූ අතර ග්‍රීවයන් දෙකක් හා වෙන් වූ හිස් දෙකක් සහිත වුණා. බද්ධ වූ දරු උපත් ලොව දුර්ලභ අතර, මේ ආකාරයට හිස් දෙකක් පමණක් සහිත ව ඔවුන් උපත ලැබීම තවත් දුර්ලභ වුණා. වෛද්‍යවරුන් එක්වර ම ඔවුන්ගේ දෙමව්පියන් දැනුවත් කරමින් පැවසුවේ මේ ආකාරයට බද්ධ වී උපදින දරුවන් ජීවත් වන්නේ ඉතා කලාතුරකින් බවත්, එසේ ජීවත් වීමට නම් එක් හිසක් ශරීරයෙන් ඉවත් කළ යුතු බවත් යන කාරණාව යි.
කෙසේ නමුත් දරුවන් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවනු දුටු එම දෙමව්පියන් එම අදහසට විරුද්ධ වුණා. වෛද්‍යවරු විසින් ඔවුන් උපතේ සිට දිනක් ගතවන තුරුත් ජීවත් වීම පිළිබඳ ව සැක පහළ කළත් මේ වන විට ඔවුන් නිරුපද්‍රිත ව සිය 28 වන උපන්දිනය ද පසුකර තිබෙනවා. මේ කරුණු කාරණා නිසා අද වන විට ඔවුන් ලොව ජනප්‍රියතම බද්ධ වූ නිවුන් දරුවන් යුගල බවට පත් වී තිබෙනවා.
ඇබී හා බ්‍රිටනි සෞඛ්‍ය අතින් යහපත් ව හැදී වැඩුණත්, වයසින් මුහුකුරා යාමත් සමග අභියෝග කිහිපයකට මුහුණ පෑවා. ශරීරයේ අවයව බොහොමයක් එකිනෙකා හා බෙදාහදාගත්තත් හිස් දෙකක් පිහිටීම නිසා එම ශරීරයේ ඒ ඒ පාර්ශවයන් පාලනය වූයේ ඒ ඒ සොයුරියගේ සිතැඟි අනුව යි.
මේ අනුව දකුණු පස සිටින ඇබීට දකුණු අත හා පාදය හැසිරුවීමේ හැකියාව තිබූ අතර, බ්‍රිටනිට වම් අත හා පාදය හැසිරවීම කළ හැකි ව තිබුණා. මේ හේතුවෙන් අත් දෙක හෝ පාද දෙක යොදාගෙන යමක් කිරීමේ දී ඒවා සමායෝජනය කරගැනීම දෙදෙනාට ම අභියෝගාත්මක දෙයක් වුණා.
මීට අමතර ව සොයුරියන්ගේ වම්පස පාදය, දකුණු පස පාදයට සාපේක්ෂ ව අඟල් දෙකක් දිගින් අඩු වීමත් ගැටලු ගෙන දෙන්නක් වුණා. මේ හේතූන් නිසා බොහෝ දෙනා පැවසුවේ මේ සොයුරියන් දෙදෙනාට කිසිදිනෙක ඇවිදීමේ හැකියාව නොලැබෙනු ඇති බව යි.
කෙසේ නමුත් දුර්මත සියල්ල බොරු කරමින් ඉක්මණින් ම මේ සොයුරියන් දෙදෙනා එකිනෙකා හා සහයෝගයෙන් කටයුතු කිරීම ප්‍රගුණ කළා. වර්තමානය වන විට ඔවුනට ඇඳුම් ඇඳගැනීම, ඇවිදීම පමණක් නොව පාපැදි පැදීමට පවා හැකියාව තිබෙනවා. මීට අමතර ව ගැටවර වියට එළැඹෙන විට පියානෝ වාදනය, පිහිනීම වැනි සියුම් ක්‍රියාකාරකම් ද කිරීමට හැකි තරම් සියුම් ලෙස ඔවුන් සිය ක්‍රියාකාරකම් සම්බන්ධීකරණය කරගෙන තිබුණා.
ඇබී හා බ්‍රිටනි යන දෙදෙනා සම්පූර්ණයෙන් වෙනස් පෞරුෂයයන් දරනවා. හිසකෙස් සැකැස්ම හා විවිධ දේ පිළිබඳ ව ඇති රුචිය ද එකිනෙකාට වෙනස් වෙනවා. ඇබී රෝස පැහැති වර්ණයට හා විවිධ විලාසිතාවලට ප්‍රිය කරන අතර, බ්‍රිටනි ක්‍රීඩා වැනි දේට ප්‍රියතාවක් දක්වනවා.
මීට අමතර ව දෙදෙනාට ම වෙන් වූ ප්‍රතිශක්තීකරන පද්ධතියක් ද පිහිටා තිබෙනවා. බ්‍රිටනිට දෙවරක් ම නිව්මෝනියාව වැළඳී ඇතිමුත්, ඒ දෙවරම එය ඇබීට වැළඳුණේ නැහැ.
කෙසේ නමුත් සොයුරියන් දෙදෙනෙකු වශයෙන් ඉතා දැඩි ලෙස සිතිනුත් එකිනෙකාට බැඳී තිබීම නිසා බ්‍රිටනි රෝගී වූ විට ඇබී මානසික වශයෙන් පහළට ඇදවැටුණු අතර, නිතිපතා හඬමින් බ්‍රිටනි සුව වන තුරු ඇයව අස්වසාලීමට උත්සාහ කර තිබෙනවා.
ඇබී හා බ්‍රිටනි සිය කායික අභියෝග සමග කෙසේ අධ්‍යාපන කටයුතු සිදුකරාවි දැ යි බොහෝ දෙනා බලා සිටි අතර, සියලු සැක සංකා දුරු කරමින් ඔවුන් ඉතා සාර්ථක ලෙස සිය අධ්‍යාපන හා උසස් අධ්‍යාපන කටයුතු සම්පූර්ණ කළා.
කෙසේ නමුත් ඔවුන් දෙදෙනා ප්‍රිය කළේ වෙනස් විෂයයන්ට වන අතර, ඇබී දකුණු අතිනුත්, බ්‍රිටනි වම් අතිනුත් වෙන් වෙන් වශයෙන් ලිවීම වැනි දේ සිදු කළා. විභාග කටයුතුවල දී වැනි තීරණාත්මක අවස්ථාවල දී ඔවුනට අවශ්‍ය විශේෂ පහසුකම් සැලසීමට ඔවුන්ගේ ගුරුවරුන් යුහුසුළු ව කටයුතු කළා.
හෙදියක වන ඇබී හා බ්‍රිටනිගේ මවත්, වඩු කාර්මිකයෙකු හා බිම් සැකසුම් ශිල්පියෙකු වන පියාත් කුඩා කල සිට ම ඉතා ආදරයෙන් හා ඕනෑකමින් මේ දෙදෙනා ම ඇතිදැඩි කළා. ඔවුනට බාල සොයුරෙකු හා සොයුරියක ද සිටිනවා.
ඇබී හා බ්‍රිටනි නව යොවුන් වියට එළැඹීමත් සමග මාධ්‍යයේ අවධානය දැඩි ලෙස ඔවුන් වෙත යොමු වුණා. ඒ නව යොවුන් විය වන තුරු එතෙක් ඇමෙරිකාව තුළ විසූ, බද්ධ වූ නිවුන් දරුවන් දෙදෙනා ඔවුන් නිසාවෙන් හා ඔවුන් ගෙවන සාර්ථක ජීවිතයත් නිසාවෙනුයි.
මේ අවධානය ද යහපත් එකක් සේ ගත් මොවුන් දෙදෙනා ඉතා ප්‍රීතියෙන් රූපවාහිනී වැඩසටහන් වැනි දේට පෙනී සිටිනවා දැකගත හැකියි.
වසර 28ක් ගත වන තුරු ඇබී හා බ්‍රිටනි සාමාන්‍ය දරුවන් දෙදෙනෙකු සේ ම සාර්ථක ජීවිතයක් ගතකොට තිබෙනවා. අනාගතයේ විවාහය වැනි කටයුතුවලට ඔවුන් මොන ආකාරයෙන් මුහුණ දේවි දැ යි යන්න පිළිබඳ ව මුළු ලොව ම බලා සිටිනවා.