කාන්තාවන් අයිස් ක්‍රීම් ලෙවීමෙන් වැළකී සිටින්න යැයි තුර්කියේ නගරයක පවත්වන සමාජ ආචාරධර්ම පාඨමාලාවකින් ලබා දුන් අවවාදයට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ බොහෝ විවේචන එල්ල වී තිබේ.
ඉස්තාන්බුල්හි Bagcilar නගර සභාවෙන් සංවිධානය කර ඇති මෙම වැඩසටහනට “වැදගත් කාන්තාවක් ලෙස හැසිරෙන්නේ කෙසේදැයි” නමින් පාඨමාලාවක් ඇතුළත් කර තිබේ.
කාන්තාවකගේ ඇඳුම් ආයිත්තම්, ඇවිදින සහ කතා බහ කරන ආකාරය ගැන මෙහි දී උගන්වන බව තුර්කියේ Milliyet daily පුවත්පත වාර්තා කරයි.
එමෙන්ම, කාන්තාවක් පොදු ප්‍රවාහන රථයක දී අසුන් ගත යුතු අකාරය, ආහාර ගන්නා විට ඉතා අඩුවෙන් කතා කළ යුතු බව, උදෑසන රූපලාවණ්‍යය ආලේපන වැඩිපුර භාවිත නොකිරීම, ග්‍රාම්‍ය භාෂා ව්‍යවහාරයෙන් ඉවත්වීම සහ “බ්‍රෝ” යන වචනය භාවිත නොකර සිටීම වැනි උපදෙස් මාලාවක් එහි සඳහන් වන්නේය.
කෙසේවෙතත්, බොහෝ උපදෙස් සමාජ ආචාරධර්ම මාලාවක සාමාන්‍යයෙන් දැකිය හැකි ඒවා වන අතර, සමාජ මාධ්‍ය ජාල පරිශීලකයන්ගේ දැඩි අවධානය යොමු වූයේ අයිස් ක්‍රීම් සම්බන්ධ උපදෙස පිළිබඳවය.
කාන්තාවන් අයිස් ක්‍රීම් ලෙවීම අශෝභන වන්නේ කෙසේදැයි උපදෙස් මාලාවේ සඳහන් නොවන අතර, මෙම අධික සීතල කෑම ආහාරයට ගත යුතු වෙනත් ක්‍රමයක් ද එහි දක්වා නොමැත.
සිනා මුහුණක් දක්වමින් එක් ට්විටර් පණිවිඩයකින් අසා තිබුණේ “අපි දැන් අයිස් ක්‍රීම් කන්නේ මොන විදියට ද?” ලෙසය.
“මම ඔය වැදගත් කාන්තාවක් ලෙස හැසිරීමට උගන්වන පාඨමාලාවට සහභාගී වුණා. දැන් අපි අයිස් ක්‍රීම් ලොවනවා වෙනුවට හපනවා” යැයි තවත් ට්විටර් පණිවිඩයක සඳහන් විය.