පමණට වඩා ඇඟ තරබාරු වීම රෝගයක් බව ඔබ දන්නවාද? පිළිකා රෝග 13කට තරබාරැව කෙලින්ම බලපානවා කියලා තමයි අලුත්ම හොයාගැනීම.ඒ වගේම දියවැඩියාව, අධි රැධිර පීඩනය, අධි කෙලෙස්ටරෝල්, හෘදය සහ වාහිනී ආශ්‍රිත රෝග, නිදන්ගත වකුගඩු ආබාධ, අක්මාවේ මේදය තැන්පත්වීම, සිරෝසිස්, කොන්දේ රුදාව, දණහිස් රුදාව වගේම නින්ද අවහිර වීමටද පමණට වඩා ඇඟ තරබාරු වීම වගකියන බව හොයාගෙන තියෙනවා. කොටින්ම කියනවනම් පමණට වඩා ඇඟ තරබාරු වීම ලෙඩ ගොඩක් එකේ මුලික ලක්ෂණයක්.
අධික බර සහ තරබාරුව දැන් අන්තර්ජාතිකවද ගැටලුවක් බවට පත් වෙලා තියෙනවා. ලෝකයේ පසුගිය අවුරුදු 10ක වාර්තා සලකා බැලුවම, සෑම ස්ත්‍රීන් 10 දෙනකුගෙන් 4ක්ද, පිරිමින් 10 දෙනකුගෙන් 3ක්ද තරබාරුවට හෝ වැඩි දේහ බරක් දැරීමේ රෝගී තත්ත්වයට ගොදුරුව වෙලා තියෙනවා. භයානකම කාරණාව වෙන්නේ. තරබාරුව මගින් පිළිකා වැළඳීමට ඉහළ දායකත්වයක් සපයන අතරම පිළිකා රෝගයෙන් සුවය ලබා ඇති අයට නැවත පිළිකා හටගැන්වීමටද දැඩි ලෙස බලපෑමක් ඇති කිරීම.
තරබාරුව සඳහා බලපාන ප්‍රධාන සාධක ලෙස දක්වා තියෙන්නේ, එක තැනම වාඩිවී වැඩි කලක් ගත කරන කාර්යශීලී නොවන රැකියා තත්වයන්. ඊළඟට ඉවක් බවක් නැතිව ගන්නා ආහාර පාන. ඒ වගේම සීනි, ලුණු සහ තෙල් අධික “කටට රස” ලෙස හඳුන්වාදෙන ආහාර සහ පානවලට ඇබ්බැහි වීම මෙහිදී ප්‍රධාන බලපෑමක් කරනවා.
අනෙක් කාරණාව තමයි තමන්ට එදිනෙදා ජීවිතය පවත්වාගන යාමට අවශ්‍ය කැලරි ප්‍රමාණය හෙවත් ශක්ති ප්‍රමාණයටත් වඩා අධික ශක්ති ප්‍රමාණයක් ශරීරගතවන ලෙස ලොකු ලොකු ආහාර වේල් ගිලදැමීමට පුරුදු වීම. පළතුරු සහ එළවළු භාවිතය අවම වීම තවත් සාධකයක් . මේ තරම් සුපිරිසුදු සෞඛ්‍ය සම්පන්න පානයක් වන ජලය සොබාදහම ලබාදී ඇතත් මත්පැන් සහ කෘත්‍රිම රසායන යෙදූ පාන වර්ග සඳහා මුල්තැන දීම අනෙක් කාරණයයි. එකතැනට වී ක්‍රමානුකූල ව්‍යායාම රහිත අක්‍රිය දිවියක් ගෙවනවා මදිවාට දුම්පානයේ යෙදීමත් දිනකට අවශ්‍ය නින්ද නිසි ලෙස නොලැබීමත් තවත් ප්‍රබල හේතුවක්. තයිරොයිඩයේ අක්‍රමිකතා මෙන්ම ජානමය බලපෑම්ද තරබාරුව සඳහා බලපාන තවත් සාධක දෙකක් වෙනවා.
තරබාරුව වළක්වා නිරෝගී ජීවිතයක් ගත කිරීමට නම් සමස්ථ සමාජයටම හඳුන්වා දිය යුතු මූලික සංකල්ප කිහිපයක් දැන් තරබාරුව පිළිබඳ ලෝක ෆෙඩරේෂණය එළිදක්වලා තියෙනවා. ඉහත සඳහන් කළ තරබාරුවට හේතුවන කාරණා වැළැක්වීම තමයි එහි අරමුණ වෙලා තියෙන්නේ.
මේ යන විදිහටම ගියහොත් 2025 වනවිට ලෝකය පුරා, ලංකාවේද ඇතුළු බිලියන 2.7ක් තරබාරැ ලෙඩුන් බවට පත්වනු ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු අඟවලත් තියෙනවා.