ලංකාවේ සංගීත කේෂ්ත්‍රයේ එක එක කාලෙට විවිධ විදිහේ සංගීත රැලි අපට දකින්න පුළුවන්. එත් තමගේ ජනප්‍රියත්වය සහ ඉල්ලුම කවදාවත් අඩු වෙන්නේ නැතුව සංගීත කේෂ්ත්‍රයේ ඉන්න ශිල්පින් ගණන අතලොස්සක්. ඒ අතරින් ප්‍රවීණ ගායන ශිල්පී සුනිල් එදිරිසිංහ කියන්නේ සංගීත කේෂ්ත්‍රයේ නොසැලී සිටින සඳකඩපහණ කිව්වොත් නිවැරදියි. මේ තියෙන්නේ එතුමන් සමඟ සති අන්ත පුවත්පත කල සාකච්ඡාවක්.
වර්තමාන සංගීත කේෂ්ත්‍රය තුළ නිහඬව සිටි ප්‍රවීණ කලාකරුවන් පුනරාගමයක් වෙලාද?
විශේෂයෙන් ප්‍රවීණ කලාකරුවන් වට සිටි ප්‍රබුද්ධ රසිකත්වය මත ඒ අයගේ පැවැත්ම නැවත අවශ්‍ය වෙලා කියන්න පුළුවන්. මොකද ඊට හේතුව දැන් නාළිකා වලින් හොඳ ගීත අහන්න, දකින්න ලැබෙන්නේ නෑ.
ගුවන්විදුලි නාලිකා මඟින් සුභාවිත ගීත වාදනය නොවීම හින්දම ඔබේ ඉල්ලුම වැඩි කලාද?
ඇත්තටම හරසුන් ගීත රැලි එක්ක මිනිස්සු ප්‍රවීණයන් සජීවීව දැකලා ඔවුන්ගේ ගීත වටා රොක් වීමට අපේ ගුවන්විදුලියේ වාදනය අඩුවීම හේතුවක් වුනා. සජීවී ප්‍රසංගයක් සඳහා ගල එන රසිකයෝ දැක්කම ඇත්තටම සතුටුයි.
ඔබ වටා ප්‍රබල රසිකයන් පිරිසක් ගොඩනැඟුනේ කොහොමද?
70 සහ 80 දශකවල ප්‍රධානම නාලිකාව වුණේ ජාතික ගුවන් විදුලිය. මේ කේවල ගුවන් විදුලිය මුළු රටම ඇහුවා. කිසිම දවසක ගුවන් විදුලියේ හරසුන් ගීත ප්‍රචාරය වුනේ නෑ. තෝරා බේරාගත් අර්ථවත් ගීත පමණයි වාදනය වුනේ. ඒ නිසා 70 සිට මේ දක්වා හොඳ රසිකත්වයක් ගොඩනැඟුනා. ඒ වගේම අද කලේ ගීත වල තිබෙන හරසුන්භාවය නිසා මිනිසුන් අර්ථවත් ගීත වැලඳගන්නවා.
2014 දී වාදකයාණෙනි සංයුක්ත තැටිය එළිදැක්වීමෙන් පසුව ඔබ නිහඬ වන්නේ ඇයි ?
ලංකාවේ බුද්ධිමය දේපළ පනත, නීති ක්‍රියාත්මක කිරීම තුළ තවමත් ස්ථාවරභාවයක් නෑ. කේෂ්ත්‍රය තුළ ඒ නිසා නීති ක්‍රියාත්මක වීමේ අවිනිශ්චිතතා නිසා ශිල්පීන්ට මානසික වශයෙනුත් මේ දේවල් බලපාලා තියෙනවා. විශේෂයෙන්ම නිර්මාණකරුවන්ට මේ නීතිමය තත්වය යටතේ සාධාරණයක් දකින්නට ලැබෙන්නේ නෑ. හොඳම නිදසුන විදිහට නාළිකාවලින් කතෘභාගය ගෙවන්නේ තවමත් නාළිකා දෙකක් හෝ තුනක පමණයි.
ඒ කියන්නේ අලුත් ගීත නිර්මාණයන් ඔබේ රසිකයන්ට අහන්න නොලැබේවිද ?
රටේ පවත්නා දේශපාලනික ආර්ථික සහ සමාජයීය වශයෙන් ව්‍යාකුල පරිසරයක නිෂ්පාදකයන් සහ ශිල්පින් නව නිර්මාණයන් කරන්න පෙළඹවීමක් නැහැ. අපි හුඟක් මහන්සිවෙලා කරන නිරමනයන් අසාවී. පටිගතකිරීම් පහුවදා අඩු මුදලට පදික වේදිකාවේ විකිණෙනවා. මේ නිසා ශිල්පින් හා නිෂ්පාදකවරු සියලු දෙනා මන්ද උත්සාහි වීමට තියෙනවා.
ඔබට රියැලිටි වැඩසටහන්වල වින්ශ්චය මණ්ඩලයට ආරාධනා ලැබිල නැද්ද ?
අපේ රටේ දක්ෂතා පුර්ණ දරුවන් ඕන තරම් ඉන්නවා. මම හරිම ඉහළින් අගය කරනවා ඒ හැකියාවන්. මං ගයපු ගීත ගායනා කරනවා දැක්කම අවංකවම මං සතුටු වෙනවා. නමුත් මට තියෙන ප්‍රශ්නය වැඩසටහන අවසාන වෙද්දී ඒ දරුවන් කොහෙද? වැඩසටහනින් උපයන මුදලින් ඒ දරුවන්ට ඉදිරි සංගීත ගමනට සහය වෙනවද කියන එකයි. මේ වැඩසටහන් තුළ ගැබ් වෙලා තියෙන වාණිජකරණය වුණු ක්‍රියාවලිය මට අගය කරන්න බැහැ. ඒ නිසා කොයි තරම් ආරාධනා ලැබුනත් මම දායක වෙන්නේ නෑ.