සාරංග දිසාසේකර කියන්නේ තරුණ, තරුණියන් අතර විශාල ජනප්‍රියත්වයක් හිමිකරගත්ත නළුවෙක්. විශේෂයෙන්ම තරුණියන්ගේ ආකර්ෂණය වැඩිපුර ලැබෙන නළුවෙක් කිව්වොත් නිවැරදියි. ඉතින් සාරංගට ආදරේ කරන ඔබ, ඔහුගේ අලුත්ම තොරතුරු මොනවාද කියල දැනගන්න කැමතියි කියලා අපි දන්නවා. ඒ නිසාම අපි ඔබ වෙනුවෙන් ඔහුගේ අලුත්ම තොරතුරු ටිකක් ගෙනාවා. මේ තියෙන්නේ ඔහු අද (12) සති අන්ත පුවත්පත් අතිරේකයකට දීපු සාකච්ඡාවක්.
* සාරංග මේ දවස්‌වල හැම නාලිකාවකම දකින්න ලැබෙනවා
ම්…… හැම නාලිකාවකින්ම නම් මාව දකින්න ලැබෙන්නෙ නෑ. චැනල් දෙක තුනක නිවේදන කටයුතු නම් කරනවා.
* එක සැරේ නාලිකා කීපයක පෙනී සිටීම අවාසියක් නෙමෙයිද?
හැම නාලිකාවකම එකම විදියෙ චරිත නිරූපණය කරනවා නම් තමයි ඔය කියන තත්ත්වෙ ඇති වෙන්නෙ. නිර්මාණවලදී බොහෝ වෙලාවට ලැබෙන්නේ එකකට එකක් වෙනස් චරිත නිසා මට එහෙම පෙනී සිටීම වාසියක් මිසක අවාසියක් වෙලා නෑ.
* මේ වසරේ ජනප්‍රියම නළුවා නොවීම ගැන දුකක් තියෙනවද?
ඇයි මම එහෙම දුක් වෙන්නෙ. මම ඔය සම්මානය කීප වතාවක් හිමිකරගත්ත රංගන ශිල්පියෙක්. අනික ඒක මටම ලැබෙන්න කියල නියමෙකුත් නැහැනෙ. මම දැනට අවුරුදු දෙකක ඉඳල ශ්‍රී ලංකාවේ ජනප්‍රියම පුද්ගලයන් දහදෙනා අතරෙ ඉන්නවා. අනික ප්‍රේක්‍ෂකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර දිහා බැලුවමත් සම්මාන හැම එකකටම වඩා ඒක වටිනවා.
* වේදිකාවේ වැඩ ගොඩකට අතගහල කියලත් ආරංචියි…
මේ දවස්‌වල සරත් කොතලාවලගෙ “ඒකා සාක්‌කුවේ” සහ අනුර විතානාච්චිගේ “මාර හොරු” වේදිකා නාට්‍ය දෙක නිසා ටිකක් කාර්ය බහුලයි. මාර හොරු නාට්‍යයේ ප්‍රධාන චරිතෙ තමයි මට ලැබිල තියෙන්නෙ. ඒ නාට්‍යය රාජ්‍ය නාට්‍ය උළෙලටත් නිර්දේශ වුණ එකක්.
* හදිසියේම විදේශගත වෙනව කියන්නෙ ඇත්තද?
ඔව්. ඩුබායිවල පැවැත්වෙන වැඩසටහනටකට සහභාගි වෙන්න මට අවස්‌ථාව ලැබිල තියෙනවා. කලාකරුවන් සහ ප්‍රේක්‍ෂකයන් හමුවෙලා ඔවුන්නොවුන්ගේ අදහස් හුවමාරු කරගන්න අලුත්ම විදියේ සජීවි වැඩසටහනක් නිසා මේ සංචාරයට මම සහභාගී වෙන්නෙ ගොඩක් ආසාවෙන්.
* කොච්චර කාලෙකටද විදේශගත වෙන්නෙ?
වැඩි කාලෙකට නෙමෙයි. දවස් හතරකට විතර
* සිවගුරුනාදන්ගේ අලුත්ම නිර්මාණෙකටත් ආරාධනා ලැබුණ නේද?
සාකච්ඡා මට්‌ටමේ තියෙන දේවල් නම් ගොඩක් තියෙනවා. ඉදිරියේදී ශිවා අයියගෙ නිර්මාණයට සම්බන්ධ වෙන්න ඉඩ තියෙනවා.
* අම්මත් එක්‌ක එකතුවෙලා කරන අලුත්ම විදියේ වැඩසටහනට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
ඇත්තටම ඉතාම ඉහලයි. ජාතික රූපවාහිනියෙ බදාදා නුග සෙවනෙ වින්දනීය හෝරාව කියන වැඩසටහනේ නිවේදන කටයුතු කරන්නෙ අම්මයි මමයි. අපේ රටේ ඉතාමත් ප්‍රසිද්ධ කාන්තා චරිත හතරක් එකතු කරගෙන තමයි මේක කරේ. ඉදිරියේදී තවත් හොඳින් මේ කටයුත්ත කරන්න අම්මයි මමයි හිතාගෙන ඉන්නවා. ඒ වගේම ඉතිහාසයේ පළමු වතාවට අම්මෙකුයි පුතෙකුයි සජීවී ලෙස නිවේදන කටයුතු කරන වැඩසටහනක් තමයි වින්දනීය හෝරාව.
* අලුත් ගීතයක් එහෙම කරන්න අදහසක් නැද්ද?
අදහසක් තිබුණත් ක්‍රියාත්මක කරන්න විදියක් නෑ තියෙන කාර්ය බහුලත්වය නිසා. කාලය කළමනාකරණය කරගෙන ඉදිරියේදී ඒ සඳහා යොමු වෙන්න බලනවා.
* ජනප්‍රියත්වය හිසරදයක් වුණ අවස්‌ථා තියෙනවාද?
ජනප්‍රියත්වය හිසරදයක් වෙලා නෑ. නමුත් ජනප්‍රිය වීම තුළ සමහර අය අපේ පෞද්ගලික ජීවිතේට අනවශ්‍ය ලෙස එබිකම් කිරීම සහ ඇඟිලි ගැසීම තමයි තියෙන ලොකුම හිසරදේ. ඒක මට විතරක් නෙමෙයි ඕනම ජනප්‍රිය කෙනෙකුට බලපාන පොදු සාධකයක්.
* මේ දිනවල සිනමාවට දක්‌වන දායකත්වය මොන වගේද?
අලුත්ම චිත්‍රපට තුනකට සම්බන්ධ වුණා. රන්දික කියලා අලුත් අධ්‍යක්‍ෂවරයෙක් ඔහුගේ “විශ්ම” කියන චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට මාව සම්බන්ධ කර ගත්තා. ඒ අතරේ සඳරුවන් ජයවික්‍රමගේ “සිහින අභිෂේකය” සහ ශ්‍රියානි අමරසේන මහත්මියගේ “පාද යාත්‍රා” චිත්‍රපටයටත් සම්බන්ධ වුණා.
* රංගනයෙන් ලැබුණු අත්දැකීම් එක්‌ක අධ්‍යක්‍ෂණයට පිවිසෙන්න අදහසක් නැද්ද?
අධ්‍යක්‍ෂණය කියන්නෙ වෙනම විෂයයක්. රඟපෑම කළ පමණින් අධ්‍යක්‍ෂණය කරන්න පුළුවන් කියලා මම හිතන්නෙ නෑ. අනික අධ්‍යක්‍ෂණය කියන්නෙ ලොකු වගකීමක් එක්‌ක දැඩි පීඩනයකින් කරන්න වෙන කටයුත්තක්. මම අධ්‍යක්‍ෂණයට කැමැතියි. තාම මේක ඒ සඳහා කාලය නෙමෙයි. හරි වෙලාව ආවම මම ඒ සඳහා යොමු වෙනවා.