සිබිල් නැන්දා කිව්වම දැන් ලොකු වෙලා ඔබ ඉතා හොඳින් අඳුරන නමක්. මොකද අපි පුංචි කාලේ ආසාවෙන් කියවපු ළමා කතා ගොඩකඅයිතිකාරිණිය වුනේ ඇය. අපට වැඩිපුරම මතක ඇය ලියපු ‘කුඩ හොරා’. ළමා කතා සාහිත්‍යයට සිබිල් වෙත්තසිංහ තරම් දස්‌කම් දක්වපු වෙනත් ලේඛිකාවක්, චිත්‍ර ශිල්පිණියක් නෑ . දශක හතකට වැඩි කාලයක් පුරා දිවයන ඇයගේ නිර්මාණ දේශීය වශයෙන් වගේම ජාත්‍යන්තර වශයෙන්ද ඇගයීමට පත්වුන අවස්‌ථා තියෙනවා. ඇය සතුව ඇයටම අනන්‍ය වූ චිත්‍ර සම්ප්‍රදායක් වගේම කතා සම්ප්‍රදායක් තියෙනවා. ඉතින් මේ තියෙන්නේ පසුගිය දවසක සිය අනූවන උපන්දිනය සමුරපු ඇය සමඟ කල සංවාදයක්.
ඔබගේ ප්‍රථම ළමා කෘතිය බිහිකරන්න පෑන අතට ගන්නකොට ඔබට දැනුණු හැඟීම කුමක්‌ද?
කිසිම විශේෂ හැඟීමක් දැනුණෙ නැහැ. මම මොනවත් හිතුවෙ නැහැ. මට ලියන්න කිව්ව නිසා මම ලිව්වා. 1952දී මම ‘ජනතා’ පත්තරේ වැඩ කරන කාලෙදි ළමයි වෙනුවෙන් පිටුවක් කළා. ඒක ඉතා ජනප්‍රිය වුණා. ඒ කාලෙ ‘ජනතා’ පත්තරේ උප කර්තෘ වෙලා හිටියෙ ධර්මපාල වෙත්තසිංහ මහත්තයා. ඔහු තමයි, පසුකාලෙදි මගෙ ස්‌වාමිපුරුෂයා වුණේ. ඔහු මගේ චිත්‍ර දැකල කිව්ව ඔය ළමයට හොඳට අඳින්න පුළුවන් නිසා කතා පොතකුත් කරන්න කියලා. ඒ වගේම පත්තරේට පිංතූර සමඟ කතාවකුත් ලියන්න කියල. ඔන්න ඔය ආරාධනාව තමයි මට ළමා කතා ලියන්න පදනම සකස් කරල දුන්නෙ. එදා ඉඳන් අවුරුදු හැත්තෑවක් තිස්‌සෙ තාම මම කරන්නෙ ළමා කතා ලියන එකයි ළමා චිත්‍ර අඳින එකයි විතරයි.
අපේ ගම වැලිගම. ඒ කාලෙ ගමේ කාටවත් කුඩ තිබුණෙ නැහැ. මිනිස්‌සු වහින වෙලාවට කුඩ වෙනුවට පාවිච්චි කළේ කොළ අතු. කෙසෙල් කොළ, හබරල කොළ වගේ නොයෙක් කොළ වර්ගවලින් තමයි ඔවුන් වැස්‌සෙන් ආරක්‍ෂා වුණේ. ඒ වගේම අපේ ගමේ වඳුරො යහමින් හිටියා. කුඩා කාලෙ ඉඳන්ම මම දැක්‌කෙ මේ වගේ දේවල්. ඉතින් ඒ පරිසරය මගේ හිතට තදින් කාවැදිල තිබුණ. කතාවක් ලියන්න කියල ආරාධනා කළාම මට එක පාරටම මතක් වුණේ ඔය සිද්ධිය. මම ඒ පරිසරය කුඩා කතාවක් විදියට ගොඩ නැඟුවා. එය තමයි ‘කුඩ හොරා’ ලෙස ජනප්‍රිය වුණෙ. ඒ පොතට මම ඇන්ද චිත්‍ර අපේ රටේ විතරක් නෙමෙයි බොහෝ විදේශීය රටවල පවා කතාබහට ලක්‌වුණා. ජපානයේ අද පවා ‘කුඩ හොරා’ පිළිබඳ කතා කරනවා. ඒ පොත නැවත නැවත මුද්‍රණය කරනවා.
මම කිසිම දවසක කාගෙවත් වුවමනාවලට ළමා පොත් ලියන කෙනෙක් නෙමෙයි. මම ලියන්නෙ මට හිතෙන දේ. මගේ ලෝකය පිරිල තියෙන්නෙ ළමා සිතුවිලිවලින්. ඒ ලෝකය හරිම සුන්දරයි. කුඩා දරුවෝ හැම තිස්‌සෙම ඇවිත් මාව හම්බ වෙනව. සමහරු දුරකථනයෙන් කතා කරනවා. ඉතා දුර බැහැර ප්‍රදේශවල ඉඳන් ඇවිල්ල මාව බලල යනව. මේ හැම දෙයක්‌ම ලස්‌සන ළමා චිත්‍රයක් වගෙයි. ඒ හැම එකකින්ම මම ලොකු ආත්ම තෘප්තියක් ලබනව. මං හිතන්නෙ අවුරුදු 91 කට මම පාතබන්නෙ ඒ ආත්ම තෘප්තිය නිසා කියලයි.
ඇයි ඔබ ළමා සාහිත්‍යය තෝර ගත්තෙ?
මගේ මනසෙ හිටිය ළමයි. මම ගම දාල එනකොට අවුරුදු අටයි. මම ගම දාල ආවෙ කිසිම කැමැත්තකින් නොවෙයි. නමුත් මට එන්න සිද්ධ වුණා. ගම දාල ආපු ඒ ළමය මගේ මනසෙ අදත් ජීවත් වෙනවා. මං ඒ ළමයට තාම ආදරෙයි. නමුත් ඒ ගම දාල ආපු ළමයට ආදරේ පෙන්නන්න වෙන විදියක් නැහැ. ඒ නිසා මම මගේ චිත්‍ර හා ළමා කතා හරහා ඒ ළමයට ආදරය පෙන්වනවා. හැබැයි ඒක මගේ ජීවිතේ අවසානය දක්‌වා ඉවර වෙන ආදරයක් නෙවෙයි.
පුංචි කාලෙ ළමයෙකුට හොඳ අත්දැකීමක් ලැබුණොත් ඒව සදාකාලෙට ඔහුගෙ මතකයෙ තියෙනව. ඒ දරුවා ක්‍රියාශීලී හා නිර්මාණශීලී පුද්ගලයෙක් නම් පසු කාලෙදි ඒ අත්දැකීම් නිර්මාණයන් බවට පෙරළෙනවා. ලෝ ප්‍රකට සංගීතඥයො කලාකාරයො දිහා බැලුවොත් අපිට මේ කාරණය පැහැදිලිව පෙනෙනවා. ඒ නිසා කුඩා කාලෙදි දරුවන්ට නිදහසේ හොඳ අත්දැකීම් ලබන්න අපි අවස්‌ථාව උදා කරල දෙන්න ඕන. ඒ වගේ තමයි දරුවන්ට නිදහසේ ලියන්න කියන්න තියෙන අවස්‌ථාව ඔවුනට ලබාදිය යුතුයි. මුල් අවස්‌ථාවෙ දරුවට නිදහසේ වැඩෙන්න අවස්‌ථාව දිය යුතුයි. එහෙම නැතුව ඔවුන්ගේ නිර්මාණශීලී ලෝකය විනාශ කිරීමට අපි උනන්දු නොවිය යුතුයි. හැබැයි ගොඩක් දෙමවුපියෝ දැන හෝ නොදැන කරන්නෙ දරුවගෙ ලෝකය විනාශ කිරීමයි.
ඒ කියන්නෙ?
දරුව තරඟයකට යොමුකිරීම කියන කාරණෙ ඉස්‌සෙල්ල අපි කතා කරන්නෙ. චිත්‍ර කලාව සම්බන්ධයෙනුත් එය සිද්ධවෙනවා. පොඩි ළමයෙක් චිත්‍ර අඳින්න දක්‍ෂයි කියල තේරුණු ගමන් දෙමවුපියො කරන්නෙ ඒ දරුව චිත්‍ර ගුරුතුමෙක් හෝ ගුරුතුමියක් ළඟට අරින එක. එතකොට ළමයට අඳින්න වෙන්නෙ ගුරුවරයාට ඕන විදියට මිසක් තමන්ට ඕන විදියට නෙවෙයි. අඩුම ගානෙ අවුරුදු 10 ක්‌වත් යනකං ළමයින් චිත්‍ර පංතිවලට යවන්න හොඳ නැහැ. එතැනදී වෙන්නෙ ළමයගෙ නිර්මාණශීලී හැකියාව එක රාමුවකට කොටුවෙන එකයි. සෑහෙන කාලයක් දරුවන්ට නිදහසේ අඳින්න ඉඩ දිය යුතුයි. මගේ චිත්‍ර කලාව මමම ගොඩනඟා ගත්තක්. ඒක මට සහජයෙන් ලැබිච්ච දෙයක්. මම කිසි කෙනෙක්‌ගෙන් චිත්‍ර කලාව පුරුදු පුහුණු වුණේ නැහැ. මට ගුරුවරයෙක් නැහැ. මම හිතන්නෙ හැම පොඩි ළමයෙකුටම අඳින්න පුළුවන්. හැම ළමයෙකුටම යමක් කුරුටු ගාන්න හරි උපන් හැකියාවක් ලැබිල තියෙනවා. ඒක නිදහසේ වැඩෙන්න ඉඩ දිය යුතුයි. එතකොට ඒ දරුව චිත්‍ර ශිල්පියෙක් නොවුණත් සමාජයට වැඩදායී හොඳ අදහස්‌වලින් පිsරිපුන් මිනිසකු විය හැකියි. අපට අවශ්‍ය එවැනි දරු පරම්පරාවක්. ඒ නිසා තමයි මම මගේ මුළු ජීවිතේම ඒ වෙනුවෙන් කැප කරල තියන්නෙ.
වර්ණ භාවිතයෙහිලා ඔබ දක්‌වන නිර්මාණශීලී බව අනිකුත් ළමා චිත්‍ර අතර සුවිශේෂයි.
කුඩා දරුවො වර්ණවලට ප්‍රිය කරනවා. ඒ නිසා ළමා කෘතියකදී අපි වර්ණ භාවිතය පිළිබඳ සැලකිලිමත් විය යුතුයි. හැබැයි මගේ චිත්‍රවල එන වර්ණ ඉබේම පහළ වෙන ඒව මිසක් හිතල මතල යොදන පාට නෙමෙයි. චිත්‍රය අඳිනකොට එයට සුදුසු වර්ණය මොකක්‌ද කියල මගේ හිතේ ඉබේම මැවෙනව. ඊට පස්‌සෙ මුළු චිත්‍රය පුරාම ඒ පාටවල් සමබර කරනව. බොහෝ චිත්‍ර ශිල්පීන් යොදා නොගන්න දුඹුරු පාටට මම හරි කැමතියි. ඒ නිසා මගේ බොහෝ චිත්‍රවල දුඹුරු පාට වර්ණය සමඟ අනෙක් වර්ණ සමබරව යොදනව.
මට කුඩා කාලෙදි ළමා පොත් කියල විශේෂ පොත් කිසිවක් කියවන්න ලැබුණෙ නැහැ. අපි ගමේ මිනිස්‌සු නෙ. ගම්වල එහෙම පොත් තිබුණෙ නැහැ. හැබැයි අපේ තාත්ත කොළඹ ඉඳන් එනකොට අපිට පින්තූර පොත් ගෙනත් දෙනවා. ඒවයෙ වැඩි වශයෙන් තිබුණෙ එංගලන්තෙ හිම වැටෙන හැටි වගේ දේවල්. ඒව අපට හරියට තේරුණෙත් නැහැ. නමුත් පිංතූර ලස්‌සන නිසා මම ඒව රස වින්දා. අපේ අත්තම්ම තමයි ජනකතා, ජනකවි අපිට කියල දුන්නෙ. පොත් කියෙව්වෙ නැති වුණාට අපේ අම්මයි අත්තම්මයි කියපු ඒ ජනකතා, ජනකවි මගේ හිතේ තදින් පැලපදියම් වෙලා තිබුණා. මගේ පොත්වල නැවත ප්‍රතිනිර්මාණය වෙන්නෙ ඒ මම අහපු දැකපු දේ මිසක් වෙන කිසි දෙයක් නෙමේ.
ළමා සාහිත්‍යය හා පරිසරය අතර ඇත්තේ අවියෝජනීය සම්බන්ධයක් නොවේද?
හරියට හරි. පරිසරයට ආදරය නොකරන්නකුට ළමා නිර්මාණ බිහිකරන්න බැහැ. මම අවුරුදු අටක්‌ම ජීවත්වුණෙ අපේ ගෙදර පිටිපස්‌සෙ තිබුණ කැලෑවේ. අත්තම්මත් එක්‌ක කැලෑවට ගිහින් එහි සිරි නරඹන පුරුද්දක් මට හැමදාමත් තිබුණ. සමහර දවස්‌වලට අත්තම්ම ගස් එක්‌ක කතා කරනවා. මම ඇහුවම ඒ මොකක්‌ද කියල ඇය කියනව පුතේ ඔය සමහර ගස්‌වල දේවතාවො ඉන්නවා කියල. ඒ නිසා තමයි සමහර ගස් මල්වලින් බරවෙන්නෙ සමහර ගස්‌වල පලතුරු වැඩි වශයෙන් හැදෙන්නෙ කියල. මං ඉතින් මේ සේරම මගේ මනෝ ලෝකය තුළ හිතින් මවා ගන්නවා. ඒ හරහා තමයි මගේ පරිකල්පන ශක්‌තිය දියුණු වුණේ. අදත් මම පොත් ලියනකොට ගස්‌වල ඉන්න රුක් දේවතාවො ගැන ලියනවා. දරුවො එවැනි දේවලට හරි කැමැතියි. මොකද ඒ ගොල්ලන්ගේ සුන්දර මනෝ ලෝකයට එවැනි දේ හරිම සුවදායක නිසා ළමයි විතරක් නෙමෙයි වැඩිහිටියනුත් කැමැතියි එවැනි සුන්දර ලෝකයකට පිවිසෙන්න.
ළමා සාහිත්‍යය කියන්නෙ තනිකරම මනෝ ලෝකයක්. ඒ ලෝකය අපි නිවැරදිව හඳුනාගත යුතුයි. ඒ සඳහා පාරිසරික වටපිටාව අපට ලබාදෙන්නෙ විශාල උත්තේජනයක්. ගහකොළ, සතා සිවුපාවා, කුරුල්ලන්ගෙ නාද මේ හැම දෙයක් තුළම තියෙන්නෙ ළමා මනසෙ චමත්කාරය තමයි. ඒ නිසා ළමා සාහිත්‍යය තුළදී මේ කිසිවක් අපට බැහැර කරන්න බැහැ. මගේ හැම පොතකම මගෙ මේ ලක්‍ෂණය පැහැදිලිව ඉස්‌මතු වෙනවා. ඒ ඇරුණුකොට ඒ පොත්වල කිසිම සත්‍යයක් නැහැ. හැබැයි ළමයින්ට කල්පනා කරන්න දේවල් තියෙනවා. ඒ කල්පනා ලෝකය තුළ ළමයා හොඳට රස විඳිනවා.
නූතන දරුවා තාක්‍ෂණය සමඟ ගනුදෙනු කරද්දී ඔබ තවමත් පින්සලෙන් හා දිය සායම්වලින් විස්‌කම් කරනවා…
අද දරුවා අපේ කාලෙ දරුවො එක්‌ක සංසන්දනය කරන්න බැහැ. ඔහු තාක්‍ෂණය සමඟ ගනුදෙනු කරන්නෙක් බව පැහැදිලියි. ලෝකෙ දියුණු වෙනකොට එය එහෙම වෙනවා. එය අපි නැවැත්විය යුතු නැහැ. තාක්‍ෂණය සමඟ ගනුදෙනු කරන්න එපා කියල අපිට කියන්න බැහැ. එහෙම කියන්න ඕනෙත් නැහැ. නමුත් ළමා පොතක් කියන්නෙ ළමා මනසත් සමඟ එකතුවෙච්ච විශිෂ්ට නිර්මාණයක්. කොම්පියුටර් චිත්‍ර ඇඳල ගෙනත් දුන්න පොත් කට්‌ටලයක් මං ගාව තියෙනවා. මගේ මුණුපුරා ඒව දැකල කියනව ආච්චි අම්මේ කවදාවත් ආච්චි අම්ම නම් ඒ වගේ චිත්‍ර අඳින්න එපා කියල. මොකද දරුවට තේරෙනව තාක්‍ෂණය හරහා බිහිවෙන චිත්‍රයකයි අතින් ඇඳල බිහිවෙන චිත්‍රයකයි අතර තියෙන වෙනස. අතින් අඳින චිත්‍රයක තියෙන ජීවමාන ගුණය තාක්‍ෂණික චිත්‍රවල නැහැ. පින්සලෙන් ඇන්ද චිත්‍රයෙයි කොම්පියුටරෙන් ඇඳපු චිත්‍රයෙයි අතර තියෙන වෙනස අහසට පොළොව වගෙයි. එය දරුවට තේරෙනව. ජපන් රට කියන්නේ තාක්‍ෂණයෙන් ඉතා ඉහළ රටක් වුණත් ඒ ගොල්ලො කවදාවත් කොම්පියුටරයෙන් නිම කරන පිංතූර තමන්ගෙ ළමා පොත්වලට යොදා ගන්නේ නැහැ. ඒ ගොල්ලො හැම අවුරුද්දෙම මට කියල පොතක් කරගන්නව. ඒ ගොල්ලන්ට ඒක මට දෙන්න ඕන නැහැනේ. කොම්පියුටරයෙන් ඉතා පහසුවෙන් කරගන්න පුළුවන්නෙ. ළමා චිත්‍රයක ජීවමය ගුණය තියෙන්නෙ ඇත්තටම පින්සලෙන් අඳින කොටයි.
ලෝකයෙ සිටින දක්‍ෂතම ළමා චිත්‍ර ශිල්පීන් අතුරෙන් ඔබත් එක්‌කෙනෙක්…
මුළු ලෝකෙම ඉන්න ළමා පොත් ලියන හා ඒවාට ළමා චිත්‍ර අඳින ලේඛක ලේකාවන් පිළිබඳ ජපානය සමීක්‍ෂණයක් කරල තිබුණා. එහිදී ඔවුන් හැට දෙනකු තෝරගෙන තිබුණ. ඒ හැටදෙනාගෙන් එක්‌කෙනෙක් තමයි මම. ඒ වගේම මේ හැම දෙනාම පින්සලෙන් චිත්‍ර ඇඳපු අය. මේ හැම කෙනකුටම අවශ්‍ය නම් කොම්පියුටරයෙන් චිත්‍ර අඳින්න තිබුණා. නමුත් ළමයි ඒවට කැමැති නැහැ. ළමා කතන්දර කලාව කියන එක විශේෂ හැකියාවක් ලෙස දියුණු කරගත යුතු දෙයක්. ඒ සඳහා දැඩි කැපවීමක් තියෙන්න ඕන.
ලෝකෙ ඉන්න දක්‍ෂම හැටදෙනාගෙ කෘති අතරෙ මගෙ ‘කුඩ හොරා’ පොතත් තියෙනව. ඔවුන්ට ඒ පොත හරිම සුවිශේෂයි. මොකද ඔවුන් කියන්නෙ වැස්‌සෙන් නොතෙමී ඉන්න හබරල කොළ, කෙහෙල් කොළ අරගෙන යන රටක් ලෝකෙ වෙන කොහෙන්වත් හොයාගන්න බැහැ කියල. ඒ අපූර්වත්වය ඒ රටවල ළමයි අත් විඳිනව. ඒ නිසා ඔවුන් එවැනි පොත්වලට ආදරය කරනව. ඒ විතරක් නෙමෙයි මගේ පොත් කියවපු විදේශිකයො ලංකාවට ආවට පස්‌සෙ ඒ පොත්වල තියෙන ආකාරයෙ ගෙවල් හොය හොයා යනව. ඔය සමහර පොත්වල තියෙන ගෙවල් අපේ මුල් ගෙවල්. ඒවයෙ තිබුණ හිරමණ, වංගෙඩි, මෝල්ගස්, කුස්‌සිය, සාලෙ නරඹන්න විදේශිකයො බොහොම ආස කරනව. ලංකාවට ආවම මාත් එක්‌ක ඒව ගැන කතා කරනව. ඔය වගේ පොත්වල තියෙන හැම ගහකොළක්‌ම වගේ අපේ වත්තෙ තිබුණ ඒවා. කුරුල්ලොත් එහෙමයි. නිර්මාණයක් කරනකොට මගේ ඒ ගම ඉබේම පොත්වලට එනව. ඊට පස්‌සෙ ඒව මතකයෙන් ඇඳීමෙන් මම ඉතා විශාල ආස්‌වාදයක් ලබනව. මම දන්නව මම කැමැති දේවල් හැම එකකටම වගේ දරුවොත් කැමැතියි කියල. මම රස විඳින දෙයක් දරුවොත් රස විඳිනව කියල. ඒකට ළමා මනස පැහැදිලි ලෙස අවබෝධ කර ගත යුතුයි. නමුත් අපේ ගුරුවරු විෂයයක් හැටියට මනෝ විද්‍යාව ඉගෙන ගත්තට එහෙම නැත්නම් ළමා මනස පිළිබඳව ඉගෙන ගත්තට ඒව ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්නෙ නැහැ.
පැහැදිලි කරන්න…
මගේ මුණුපුරා අවුරුදු හතරෙදි කතාවක් කිව්ව. එයාට රතු කාර් එකක් තිබුණ සෙල්ලම් කරන්න. මම කිව්ව හවස් වෙනකොට එය ගෙට දාන්න හොරු ගෙනියයි කියල. එයා කිව්ව බැහැ කියල. ඊට පස්‌සෙ අඹ ගහ මාමා රතු කාර් පොඩ්ඩව ගහ උඩට ගත්තලු. කුරුල්ලො ඇතුළු අනෙක් සත්තු රතු කාර් පොඩ්ඩව ආරක්‍ෂා කළාලු. පහුවෙනිද ළමය නැඟිටල බලනකොට රතු කාර් පොඩ්ඩ නැහැලු. එයා හයියෙන් අඬන්න පටන් ගත්තලු. ඒක ඇහිච්ච ගස් මාමාට දුක හිතුනලු. කාර් පොඩ්ඩටත් දුක හිතුණලු. කාර් පොඩ්ඩ හිතුවලු මාව කළුවරේ තිබ්බට එයාට හොඳ පාඩමක් වුණත් එයා මට ආදරෙයි කියල. ඒ නිසා ගස් මාමා අතු පහත් කළාලු. රතු කාර්Êපොඩ්ඩ සුරුස් ගාලා ළමය ගාවට ආවලු. මේ කතාව මම ඇන්ද. බලන්න ගහට වුණත් ළමය කිව්වෙ ගස් මාමා කියල. ඊට පස්‌සෙ ඉස්‌කෝලෙ ටීචර්ට ඒ කතාව පෙන්නුවලු. දවල් මගේ මුණුපුරා අඬාගෙන ගෙදර ආවා. මම ඇහුවම ඇයි කියල. ඔහු කියනව මම හරි මෝඩ ළමයෙක් කියල චීටර් කිව්ව කියල. මං ඇහුව එහෙම කිව්වෙ ඇයි? කියල. ඇයි ළමයෝ ගස් කොහොමද ඉබේ නැමෙන්නේ කියල ටීචර් ඇහුවලු. බලන්න දරුවට තියෙන පරිකල්පන ශක්‌තියවත් ගුරුවරයට නැහැනෙ. ළමා මනෝවිද්‍යාව විභාගෙට කළාට ළමා මනස අවබෝධ කරගන්න ගොඩක් දෙනකුට බැහැ. ඒකෙන් ලොකු අසාධාරණයක් වෙන්නෙ කුඩා දරුවට.
අද බොහෝ දෙනෙක් ළමා කතන්දර ලියන්නෙ ළමයින් ආශ්‍රිතව නොවේ. බොහෝ වේලාවට කරන්නෙ පිටරටක කතන්දරයක් පොඩ්ඩක් එහාට මෙහාට කරල ලියන එක විතරයි. ඉස්‌සර මම කතන්දරයක් මගේ ඔළුවට ආවම ළමයි ටිකක් වට කරගෙන ඉස්‌සෙල්ම එය කියනව. ළමයින්ගේ ප්‍රතිචාරය මොකක්‌ද කියල බලනව. ළමයින්ගේ විවේචනවලට ඇහුම්කන් දෙනව. ඊට පස්‌සෙ තමයි අවසාන වශයෙන් නිර්මාණයට එළැඹෙන්නෙ. මේ නිසා මං ලියපු හැම පොතක්‌ම වගේ ළමයි අතරෙ ඉතාම ජනප්‍රිය වුණා. ඒකට තව හේතුවක් තියෙනවා. මම හැම තිස්‌සෙම උත්සාහ කරන්නෙ අපේ අනන්‍යතාව මගේ හැම කතාවකින්ම ඉදිරිපත් කිරීමටයි. අපේකම නැතිව අපිට සාර්ථක නිර්මාණයක් කරන්න බැහැ.
ඒ අපේකම ඔබ ජාත්‍යන්තර තලයට ඔසවා තැබුවා…
අනිවාර්යයෙන්ම… 1986 දී ජපානෙ ළමා පොත් චිත්‍ර තරගයේ තුන්වැනි ස්‌ථානය මගේ ‘කුඩ හොරා’ පොතේ චිත්‍රයට ලැබුණා. ඊට පස්‌සේ ඒ අවුරුද්දෙම හොඳම ළමා පොතට දෙන සම්මානය ඒ පොතට ලැබුණා. ඊට පස්‌සේ ජපාන පුස්‌තකාල පරිහරණය කරන ළමයින්ගේ ජනප්‍රියම පොත ලෙස ඒ පොත සම්මානයට පාත්‍ර වුණා. ඊට පස්‌සේ ඩෙන්මාර්ක රජය ඒ පොත එහෙ මුද්‍රණය කළා. ඒ රටේ ලංකාවෙ පොතක් මුද්‍රණය වෙනව කියන්නෙ ඒක අපට ලොකු ගෞරවයක්. ඒ හැම දෙයක්‌ම ලැබුණෙ අපේ අනන්‍යතාව මගේ ළමා පොත්වල පැහැදිලිවම ඉස්‌මතු වුණ නිසයි. විදේශිකයො කියනව මගේ ළමා පොතක් කියෙව්වම ලංකාවට ආව වගේ හිතෙනව කියල. මේ වෙනකොට මම ළමා නිර්මාණ 400 ක් විතර කරල තියෙනව. ඒ හැම එකකම අපේකම තියෙනව.
ඔබගේ නිර්මාණ සඳහා සාහිත්‍ය කෘතිවලින් ලැබුණු බලපෑම මොන වගේද?
ඇත්තටම කියනව නම් මම පත්තර රස්‌සාවට එනකං සාහිත්‍ය කෘති කියවල තිබුණෙ නැහැ. මම ඉගෙන ගත්ත පාසලේ තිබුණෙ බටහිර අධ්‍යාපනය. ඒකෙ ඉගැන්වූයේ විදේශීය රටවල ගුරුවරු. ඒ නිසා ඔවුන්ගෙන් සිංහල සාහිත්‍යය ඉගෙන ගන්න හැකියාවක් තිබුණෙ නැහැ. කුමාරතුංග මුනිදාසයන්ගෙ කෘති පවා කියෙව්වෙ බොහොම මෑතකදී. මොකද ඒ සමහර කෘතිවලට මම චිත්‍ර ඇන්ද. මගේ සාහිත්‍ය ලෝකෙ හිටියෙ මගේ අම්මයි අත්තම්මයි විතරයි. ඔවුන් දෙදෙනා හරහා මම විශාල සාහිත්‍යයක් අඳුර ගත්ත. ඒ හරහා මගේ නිර්මාණාත්මක ලෝකය පිබිදුණා. ඒ වගේ තමයි මම හුඟක් බණ අහන කෙනෙක්. ඒ ආගමික සාහිත්‍යය දැන් වැඩිපුර මගේ ඔළුවේ තියෙනව. උපාලි පුවත්පත් සමාගමෙන් පළ කරපු ‘බිංදු’ පත්තරේ මුල් කාලෙ පිටපත් එක් ලක්‍ෂ විසිපන්දහසක් විතර ඒ කාලෙ විකිණුනා. ඒක මම කළේ පන්ති කාමරයෙන් පිට ළමයින්ට අවශ්‍ය රස වින්දනය බෙදා දෙන්න. ළමා පත්තරයක පිටපත් එපමණ විශාල ප්‍රමාණයක් විකුණුණේ ඒ පණිවුඩය නියමාකාර ලෙස දරුවන් හා දෙමවුපියන් ආදරෙන් බාරගත්ත නිසා. ඒ පත්තරේ සම්පූර්ණයෙන්ම තිබුණෙ මගේ අත්තම්මා මට කියපු ජන කතා.
අපි ළමයින්ට කතා කරන්න ඉඩ දෙන්න ඕන. ඔවුන්ට ආදරය කරන්න ඕන කුඩා කාලෙ ඉඳන් මට හිත පිරෙන්න ආදරය හම්බ වුණා. අදටත් එහෙමයි. ඒ ආදරය තමයි මාව ජීවත් කරවන්නේ. කවද හරි මේ ලෝකෙන් සමුගන්නකොට මට හිත සන්තෝසෙන් ඒ ගමන යන්න පුළුවන්. මොකද මම ඉතා විශාල වටිනා වස්‌තු රාශියක් රටටත් දරුවන්ටත් ඉතුරු කරලයි යන්නේ. මම මහා පින්වන්තියක් කියල මට හිතෙනව.